33 C
Colombo
සිකුරාදා, අප්‍රේල් 19, 2024

බිත්තර හතරක් වැඩි මිලට විකුණා ලක්ෂ 5ක් දඩ

Must read

බිත්තර සඳහා නියම කර ඇති මිලට වඩා වැඩි මිලකට එනම් සුදු බිත්තර 4ක් රුපියල් 260ක මිලකට අලෙවි කළ බලන්ගොඩ නගරයේ ඇති වෙළෙඳසලකට රුපියල් ලක්ෂ පහක (500,000) දඩ මුදලක් ගෙවන ලෙස බලන්ගොඩ වැඩ බලන මහේස්ත්‍රාත් ඒ.එම්.එස්. මැණිකේ මහත්මිය නියෝග කළාය.

බලන්ගොඩ විවිධ සේවා සමුපකාර සමිතිය මඟින් පාලනය වන කෝප් සිටි වෙළෙඳ ආයතනය වෙත එම දඩ මුදල ගෙවීමට සිදු විය. ඉකුත් 19 දා පාරිභෝගික කටයුතු අධිකාරිය මඟින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය අනුව සුදු බිත්තර එකක් විකිණීමට හැකි උපරිම සිල්ලර මිල රුපියල් 43ක් ලෙස දැක්වේ.

ඒ අනුව බලන්ගොඩ නගරයේ කළ වැටලීම්වලදී උපාය දුතයකු මඟින් එම වෙළෙඳසලින් බිත්තර මිලදී ගත් බවත් එක් බිත්තරයක් රුපියල් 65 බැගින් බිත්තර හතරක් සඳහා රුපියල් 260ක මුදලක් අයකරගෙන ඇති බවද පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් පැවසූහ.

වැඩි මිලට බිත්තර විකිණීම යන චෝදනා යටතේ ඉදිරිපත් කළ නඩුව සඳහා වරද පිළිගත් අදාළ ආයතනය වෙත බලන්ගොඩ වැඩ බලන මහේස්ත්‍රාත් ඒ.එම්.එස්. මැණිකේ මහත්මිය විසින් එම ලක්ෂ පහක දඩ මුදල මෙලෙස නියම කළාය.

රත්නපුර පාරිභෝගික අධිකාරියේ දිස්ත්‍රික් ප්‍රධානි උදය නාමල්ගම මහතාගේ උපදෙස් පරිදි විමර්ශන නිලධාරින් හර්ෂණී දසනායක මහත්මිය විසින් සංවිධාන කළ මේ වැටලීම සඳහා නසික් අහමඩ්, නදීෂ ලියනගේ යන නිලධාරීහු එක්ව සිටියහ.

More articles

Latest article