27.5 C
Colombo
සිකුරාදා, අප්‍රේල් 19, 2024

හිටපු ජනපති ඇතුළු පිරිසකට එරෙහිව පාස්කු ප්‍රහාරයේ වින්දිතයින් 289ක් නඩු පවරයි

Must read

ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබි තිබියදී පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වාගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු චූදිතයින් 6දෙනෙකුට එරෙහිව වින්දිතයින් 289 දෙනෙකු නඩු පවරා තිබේ.

කොළඹ හා මීගමුව දිසා අධිකරණ තුළ පවරා ඇති එම නඩු මගින් වින්දිතයින් ඉල්ලා ඇති වන්දි ප්‍රමාණයන්ගේ මුළු වටිනාකම රුපියල් මිලියන 1250 කට අධිකය.

කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට එල්ල වු ප්‍රහාරයෙන් අගතියට පත් වින්දිතයින් 182 නෙකු මීගමුව දිසා අධිකරණයේ වන්දි නඩු පවරා ඇති අතර කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට එල්ල වු ප්‍රහාරයෙන් අගතියට පත් වින්දිතයින් 107 දෙනෙකු නඩු පවරා ඇත්තේ කොළඹ දිසා අධිකරණය හමුවේය. 

එම සියලු වින්දිතයින් සිය නීති කෘත්‍යයන් තුළ විත්තිකරුවන් ලෙස නම්කර ඇත්තේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පුජීත් ජයසුන්දර, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන හා නීතිපතිවරයාවයි.

පැමිණිලිකරුවන් සිය නීති කෘත්‍යයන් තුළ පෙන්වා දී ඇත්තේ ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කර ඇති බවට ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදි ජාතික ආරක්ෂාව සහ මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට විත්තිකරුවන් අපොහොසත්වීම තුළ එම ප්‍රහාරයෙන් තමන් අගතියට පත්වු බවය.

පැමිණිලිකරුවන් සියලුදෙනා වෙනුවෙන් එම නඩු ගොනුකිරීම ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා, නීතිඥ සඳුන් නාගහවත්ත ඇතුළු නීතිඥ මණ්ඩලයක් විසින් සිදුකර තිබේ.

More articles

Latest article