27 C
Colombo
බදාදා, අප්‍රේල් 17, 2024

ජාතීන් අතර අවබෝධය ඇති කිරීමට පවතින හොඳම විසඳුම ඵලදායි සන්නිවේදනයට අවස්ථාව ලබාදීමයි – අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස්

Must read

ජාතීන් හෝ ආගම් අනුව අපේ තරුණ පරපුරට බරපතළ වෙනස්කම් නොමැති බවත්, ඔවුන්ගේ මූලික අරමුණු එක හා සමාන වන බවත්, කණගාටුවට කරුණ වන්නේ බොහෝ දෙනෙක් එය අවබෝධ කර නොගෙන ජීවත්වීම බවත්, මේ සඳහා ඇති වඩාත් ප්‍රායෝගික විසඳුම ඵලදායී සන්නිවේදනයට අවස්ථාව ලබාදීම බවත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා සඳහන් කළේය.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ , බංගලාදේශ මහ කොමසාරිස් කාර්යාලය හා අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව සංවිධානය කරන ලද ජාත්‍යන්තර මාතෘ භාෂා දින සමරුව හා ඊට සමගාමීව පවත්වන ලද වාර්ෂික චිත්‍ර තරගයේ ත්‍යාග සහ සහතිකපත් ප්‍රදානෝත්සවයට එක්වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍යවරයා, බංගලාදේශය සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික, සංස්කෘතික හා දේශපාලනික වශයෙන් මනා අවබෝධයක් සහ අන්‍යෝන්‍ය බැදීමක් පවතින බවත්, දෙරට අතර මිත්‍රත්වය ශක්තිමත් කිරීමට පියවර ගැනීම සම්බන්ධයෙන් බංගලාදේශයේ ගරු අගමැතිනි ෂීක් හසීනා මහත්මියට තම කෘතවේදිත්වය පළ කරන බවත් පැවසීය.

විශේෂයෙන්ම මෑතකදී පැවති ජිනීවා සමුළුවේදී ශ්‍රී ලංකාවට සහය පළ කිරීමට බංගලාදේශය කටයුතු කිරීම දෙරට අතර මිත්‍රත්වය පිළිබඳ මනා සාක්ෂියක් බවත්,බෙංගාලි ජාතිකයින් ස්වකීය මාතෘ භාෂාව ආරක්ෂා කරගැනීම වෙනුවෙන් දිවි කැප කර සටන් කළ පිරිසක් බවත් අද අප මේ සමරන්නේ ඔවුන් විසින් රැක දුන් මාතෘ භාෂා අයිතිය බවත් අමාත්‍යවරයා තවදුරටත් පෙන්වා දුන්නේ ය . දෙදහ වර්ෂයේ දී මාතෘ භාෂාව ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් බංගලාදේශය ආරම්භ කළ ක්‍රියාදාමය 2015 වර්ෂයේ සිට ජාත්‍යන්තරය පවා පිළිගෙන ඇති බවත් ඒ අනුව මාතෘ භාෂාව අනාගත පරපුර වෙනුවෙන් රැකගැනීම සහ උරුම කර දීම රටක වගකීමක් බවත් අවධාරණය කළ අමාත්‍යවරයා , භාෂාවේ සීමා මායිම්වලින් ඔබ්බට ගිය ප්‍රකාශන මාධ්‍යයක් භාවිතයෙන් සිතිවිලි හෙළිදරව් කිරීමට සංවිධානය කරන ලද චිත්‍ර තරගය පිළිබඳවද කෘතවේදීත්වය පළ කළේය . දරුවන්ගේ සහජ හැකියා සහ නිර්මාණශීලීත්වය හදුනාගනිමින් ඔවුන්ගේ විභව්‍යතා ඔප් නංවා ලීමට උපකාර කිරීම අපගේ වගකීමක් වන බව ද ඒ වෙනුවෙන් බංගලාදේශය ලබාදෙන සහයෝගය අතිශයින්ම අගය කරන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය .

ජාත්‍යන්තර මාතෘ භාෂා දින සමරුවට සමගාමීව අධ්‍යාපන අමාත්‍යාංශයේ භාෂා හා මානව ශාස්ත්‍ර ඒකකය හා ඉංග්‍රීසි භාෂා ඒකකයේ සහයෝගය ද ඇතිව සෞන්දර්ය අධ්‍යාපන ශාඛාව විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම චිත්‍ර තරගයෙන් මෙවර සිසුන් හතළිස් දෙනකු ඇගයීමට ලක් වූ අතර ප්‍රථම දෙවන සහ තුන්වන ස්ථාන ලබාගත් සිසු දරුවන් වෙත මූල්‍ය ප්‍රදාන ද ලබා දෙන ලදී .

අධ්‍යාපන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති මෙම උත්සවයට බංගලාදේශ රජය නියෝජනය කරමින් බංගලාදේශ මහ කොමසාරිස් (Tariqe Mohomad Ariful Islam) තාරික් මොහොමඩ් අරිෆුල් ඉස්ලාම් මහතා , බංගලාදේශ තානාපතිතුමා ඇතුළු නියෝජිත පිරිසක්ද , අධ්‍යාපන අමාත්‍යාංශය නියෝජනය කරමින් අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා , අතිරේක ලේකම් හේමන්ත ප්‍රේමතිලක , සෞන්දර්ය අධ්‍යාපන අධ්‍යක්ෂ හඳුන්පතිරණ මහතා ප්‍රමුඛ අමාත්‍යාංශ නිලධාරින් රැසක් එක්ව සිටියහ.

More articles

Latest article