31 C
Colombo
අඟහරුවාදා, මාර්තු 26, 2024

අක්කර 62,000 ක වන විනාශයක් කිසිසේත් සිදුවී නැහැ – වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යංශය

Must read

අක්කර 62,000ක ප්‍රමාණයේ වන විනාශයක් කිසිසේත් සිදුවී නොමැති බව තමා ලේකම්වරයා වශයෙන් ඉතාම වගකීමෙන් ප්‍රකාශ කරන බවත්, වනජීවී නිලධාරීන් ඒ සම්බන්ධයෙන් ඉතාමත් සුරක්ෂිතව කටයුතු කරන බවත් වනජීවී හා වනසංරක්ෂණ අමාත්‍යංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පැවසුවේය.

ඔහු මේ බව පැවසුවේ අද දින (08) සූම් තාක්ෂණය ඔස්සේ ජනමාධ්‍ය අමාත්‍යංශය විසින් සංවිධානය කළ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ විශේෂ මාධ්‍ය මධ්‍යස්ථානයේදී පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

යම් යම් කුඩා ස්ථාන වල පුද්ගලයන් අනවසරයෙන් වනයට ඇතුල්වී වනය අල්ලා ගැනීමට සහ ඇතැම් අනවසර ක්‍රියාවන් සිදුකරන බවට වාර්තා වුනු බවද, එය සාමාන්‍ය තත්ත්වයක් වන අතර මිනිසුන් නිරන්තරයෙන් කෘෂිකාර්මික කටයුතු සදහාද, දර කැඩීමට, මී පැණි ලබාගැනීමට ආදී දේ සදහා වනයට ඇතුල් වන අතර එවැනි අවස්ථාද දිගින් දිගටම පාලනය කරගත නොහැකි තත්ත්වයන්ට පත්වුවහොත් එවැනි පුද්ගලයින්ටද නීතිය ක්‍රියාත්මක කිරීමට වනජීවී දෙපාර්තමේන්තුව කටයුතු කර ඇති බව ලේකම්වරයා පැවසුවේය.

ජනපතිතුමා විසින් පරිසරය, වනජීවී සම්පත සහ වනය රැකගැනීම උදෙසා ඉතාමත් දැඩි තීන්දු කිහිපයක් පසුගිය සතියේ ගනු ලැබූ බවත්, මාධ්‍ය මගින් පෙන්වා දුන් පරිදි වන විනාශය සහ ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම් උපරිම මට්ටමකින් පාලනය කරගැනීම සදහා අවශ්‍ය ප්‍රමුඛතාවය ඉහල මට්ටමකින් ලබාදීම සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට උපදෙස් ලබාදුන් බවද ලේකම්වරයා පැවසුවේය.

අමාත්‍යතුමා විසින් විශේෂ මෙහෙයුම් ඒකකයක් එනම් හදිසි විමර්ශන ඒකකයක් පිහිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගැනීමට කටයුතු කර ඇති බවද ඒ සදහා පොලිස් දෙපාර්තමේන්තුව, වනජීවී දෙපාර්තමේන්තුව, පරිසර අමාත්‍යංශය, විගණක දෙපාර්තමේන්තුව ආදී ආයතන රාශියකින් සමන්විතව මහජනතාවගෙන්, මාධ්‍ය මගින් සහ අනෙකුත් ආයතන විසින් එන කැලෑ විනාශයන් සහ වනයට සිදුවන වන හානි වළක්වාගැනීම සදහා විශේෂ මෙහෙයුම් ඒකකයක් අරඹා වන විනාශයන් වැළැක්වීමටත්, එම විනාශයන් සිදුකරන පුද්ගලයන් සහ ආයතන වේ නම් ඔවුන් සම්බන්ධයෙන් වනජීවී ආඥා පනත සහ පරිසර පනත ආදී පනත් මගින් නීතිමය කටයුතු සිදුකිරීමටත් අපේක්ෂිත බව අවධාරණය කළේය.

වන විනාශයන් සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට මෙන්ම විශේෂ කරුණු ඇතිනම් දැන්වීමට විශේෂ අංකයක් හදුන්වා දී ඇති බව සිහිපත් කළ වනජීවී ලේකම්වරයා වැඩිදුරටත් පැවසුවේ දිනපතා ගුවනින් සිදුකරන නිරීක්ෂණයන් පදනම් කරගනිමින් වන විනාශයන් පිළිබදව තොරතුරු ලබාගෙන ත්‍රිවිධ හමුදාව පොලීස්ය ඇතුලු විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් සම්බන්ධ කරගනිමින් වැටලීම් සිදුකර වන විනාශයන් සිදුකරන පුද්ගලයින් හදුනාගෙන ඔවුන්ට නීතියෙන් දැඩි දඩුවම් කිරීමට ජනාධිපතිතුමා විසින් ගුවන් හමුදාපතිතුමා හට උපදෙස් ලබාදී ඇති බවයි.

නිරන්තරයෙන් වනයට ඇතුළු වන පුද්ගලයන් සම්බන්ධයෙන් වනජීවී සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව නිරන්තර අවධානයෙන් පසුවන බවත්, ඒ සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් පැවසුවේය.

More articles

Latest article