28.8 C
Colombo
ඉරිදා, මැයි 26, 2024

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට ෆින්ලන්තයේ සහාය

Must read

ශ්‍රී ලංකාවට හඳුන්වාදීමට නියමිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා ෆින්ලන්තයේ සහාය පළවේ.

මේ සඳහා ෆින්ලන්ත අධ්‍යාපන ක්‍රමවේදයන් යොදා ගැනීමේ හැකියාව සහ වැදගත්කම සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමේ තෙදින වැඩමුළුවක් මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ දී ආරම්භ විය.

අට දෙනකුගෙන් සමන්විත ෆින්ලන්ත අධ්‍යාපනඥයන් කණ්ඩායමක් මේ සඳහා සහභාගී වන අතර, එහි නායකත්වය දරන්නේ පින්ලන්තයේ හෙල්සින්කි විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන විද්‍යා පීඨයේ උප පීඨාධිපති සහ ගුරු අධ්‍යාපනය පිළිබඳ මහාචාර්ය ලීනා ක්‍රොක්ෆර්ස් (Leena Krokfors) මහත්මිය යි.

ලොව දියුණු ම සහ ඉහළ ම අධ්‍යාපන ක්‍රමවේදයන් යොදා ගනිමින් සකසා තිබෙන පින්ලන්ත අධ්‍යාපන ක්‍රමවේදයන් මෙරටට හඳුන්වාදීමට නියමිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා භාවිත කිරීම, පාසල් විෂය නිර්දේශයන් සඳහා භාවිත කිරීම, බහු කාර්ය පන්ති කාමර සැකසුම ආදිය පිළිබඳ ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යාපනඥයන්, නිලධාරීන් දැනුම්වත් කිරීම මේ වැඩමුළුවේ අරමුණු වේ.

පෙර පාසල් අධ්‍යාපනයේ සිට දරුවන්ට ඉගැන්වීමට නොව ඉගෙන ගැනීමට සැලැස්වීම, ප්‍රාථමික අධ්‍යාපනය සඳහා ගුරුවරුන් යෙදවීම, දරුවන්ගේ දක්ෂතා අනුව ඔවුන් අධ්‍යාපනය කරා යොමු කරවීම ආදිය පිළිබඳ මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කිරීමට නියමිත ය. එමෙන් ම, රටේ අධ්‍යාපනයේ සැකසුම, ද්විතීයික, වෘත්තීය අධ්‍යාපනය සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ සැකසුම පිළිබඳ ද මෙහිදී වැඩිදුරටත් අවධානය යොමු කිරීමට නියමිත ය.

ජනාධිපතිතුමන්ගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව අධ්‍යාපන අමාත්‍යාංශයේ ද මැදිහත්වීම මත ජාතික අධ්‍යාපන ආයතනය මඟින් රටේ අධ්‍යාපනයේ නව පරිච්ඡේදයක් ආරම්භ කිරීමට කටයුතු සූදානම් කොට ඇති බව මේ අවස්ථාවට සහභාගී වෙමින් ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා පැවසී ය.

ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයන්, අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශය, විභාග දෙපාර්තමේන්තුව ඇතුළු ආයතනවල නිලධාරීහු ද මේ අවස්ථාවට සහභාගී වූහ.

More articles

Latest article