31 C
Colombo
සෙනසුරාදා, අප්‍රේල් 13, 2024

ලෝක ආහාර වැඩසටහනෙන් ඩොලර් මිලියන 20ක තවත් ආධාර

Must read

ශ්‍රී ලංකාවට මෙතෙක් දී තිබූ ඩොලර් මිලියන 40ක ආහාර ආධාරවලට අමතරව තවත් ඩොලර් මිලියන 20ක ආහාර ආධාර දීමට කටයුතු කරන බව ලෝක ආහාර වැඩසටහනේ නියෝජිතයෝ පැවැසූහ.

අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා සහ ලෝක ආහාර වැඩසටහනේ ආසියානු හා පැසිපික් කලාපීය අධ්‍යක්ෂ ජෝන් අයිලීෆ් මහතා ඇතුළු නියෝජිතයන් අතර පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගිය දා පැවති හමුවේදී එම නියෝජිතයෝ මේ බව සඳහන් කළහ.

ගැබිනි, කිරි දෙන මව්වරුන් සහ දරුවන් වෙනුවෙන් පෝෂ්‍යදායී ආහාර සැපයීමට අමතර අනුග්‍රහයක් දෙන ලෙස අගමැතිවරයා කරන ලද ඉල්ලීමට ලෝක ආහාර වැඩසටහන (WFP) සිය කැමැත්ත පළ කළේය.

ලෝක ආහාර වැඩසටහන සහ ශ්‍රී ලංකා රජය අතර පවත්වාගෙන යන මනා හවුල්කාරීත්වය මේ ඒකාබද්ධ වැඩසටහන් සඳහා බෙහෙවින් ඉවහල් වන බවත්, එම වැඩසටහන් අනෙකුත් රටවලට කදිම උදාහරණ සපයන බවත් එම නියෝජිතයෝ ප්‍රකාශ කළහ.

රටක සංවර්ධනය සඳහා සෞඛ්‍ය සම්පන්න ප්‍රජාවක වැදගත්කම පෙන්වා දුන් අගමැතිවරයා දිවයිනේ ගෘහාශ්‍රිත කර්මාන්ත සහ කුඩා පරිමාණ ධීවර කර්මාන්තය දියුණු කිරීමට ආධාර වැඩි කිරීමේ හැකියාව සොයා බලන ලෙසත් වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

මේ දුෂ්කර කාලයේදී ශ්‍රී ලංකාවට දෙන ප්‍රදාන අමෙරිකානු ඩොලර් මිලියන 20කින් වැඩි කරන බව පැවැසූ කලාපීය අධ්‍යක්ෂවරයා ඒ අනුව සමස්ත ආධාර අමෙරිකානු ඩොලර් මිලියන 60 දක්වා ඉහළ යනු ඇති බව කියා සිටියේය.

මේ අවස්ථාවට ලෝක ආහාර වැඩසටහනේ නියෝජිත අබ්දුර් රහීම් සිද්ධික්, රජයේ පාර්ශ්වකාර නිලධාරි මුස්තාෆා නිහ්මත්, අගමැති ලේකම් අනුර දිසානායක, අතිරේක ලේකම් හර්ෂ විජේවර්ධන යන මහත්වරු සහභාගි වී සිටියහ.

More articles

Latest article