34 C
Colombo
සඳුදා, අප්‍රේල් 22, 2024

ශ්‍රී ලංකා විදේශ ඇමති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතයි

Must read

ශ්‍රී ලංකාව අභ්‍යන්තර හා බාහිර වශයෙන් මුහුණ දෙන අභියෝග, මෙරට තුළ නව දේශපාලන, සමාජ හා ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සඳහා අවස්ථාවක් කරගන්නා බව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 77 වැනි සැසිවාරය අමතමින් විදේශ කටයුතු ඇමැති ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා ඊයේ (25) ප්‍රකාශ කළේය.

අනාගතය සඳහා අපගේ සාමූහික දැක්ම සාක්ෂාත් කරගැනීමට මෙය සුදුසුම මොහොත බව ශ්‍රී ලංකාවේ විශ්වාසය යැයි පෙන්වා දුන් ඒ මහතා එය සියලුම ශ්‍රී ලාංකිකයන් සඳහා වඩාත් සාධාරණ, තිරසර සහ සමෘද්ධිමත් අනාගතයක් වඩා යහපත් අයුරින් නැවත ගොඩනැඟීමට අවස්ථාවක් බවද අපේ මේ ආරම්භය සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාවේ සහයෝගය බලාපොරොත්තු වන බවද පැවසීය.

මේ අතර පවතින අර්බුදය ප්‍රයෝජනයට ගනිමින් වඩා හොඳින් යළි නැගී සිටීමටත්, කිසිවකු අත්නොහැරෙන ආකාරයෙන් නිදහස සහ සමෘද්ධිය ඇතිකර ගැනීමේ නව යුගයකට පිවිසීම ශ්‍රී ලංකාවේ අවංක බලාපොරොත්තුව බවද විදේශ කටයුතු ඇමැතිවරයා කීවේය.

විදේශ ඇමැති අලි සබ්රි මහතා මෙරට වේලාවෙන් ඊයේ (25) අලුයම 2.30ට පමණ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතූ අතර එහිදී ඇමැතිවරයා මෙසේ ද කීවේය.

වත්මන් සැසියේ සභාපතිවරයා ලෙස තේරී පත් වූ ක්සාබා කොරොසි මහතාට සුබපැතුම් පිරිනැමීමේ ගෞරවය මට ලබා දෙන්න. ඉදිරි වසර තුළ දී ඔබ සහ ඔබේ කණ්ඩායම සමඟ සමීපව කටයුතු කිරීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරනවා.

ලෝකය සංකීර්ණ, අන්තර් සම්බන්ධිත අභියෝග රාශියකට මුහුණ දී සිටිනවා. වර්තමාන ගෝලීය අර්බුද හේතුවෙන් වසංගතයේ දුරදිග යන බලපෑම් තවදුරටත් උග්‍ර වී තිබෙනවා. අනෙකුත් කරුණු අතර, “දේශගුණික විපර්යාස, ජෛව විවිධත්වය අහිමි වීම සහ ඉහළ යන පරිසර දූෂණය යන ත්‍රිත්ව ග්‍රහලෝක අර්බුදයේ” අන්‍යෝන්‍ය ප්‍රතිඵලයක් ලෙස “ගෝලීය ගින්න පිළිබඳ පංචවිධ අනතුරු ඇඟවීම” ලෙස මහලේකම්වරයා විසින් සඳහන් කර ඇති කරුණුවල විනාශකාරී ප්‍රතිවිපාක මඟින් මෙම අවදානම් උග්‍ර වී තිබෙනවා.

මෙම ප්‍රවණතා මඟින්, රාජ්‍යයන් තුළ සහ රාජ්‍යයන් අතර අසමානතාවන් ගැඹුරු කිරීමට තුඩුදෙන බව සිතීම අපහසු නොවේ. ප්‍රමාණවත් ප්‍රාග්ධනයක් සඳහා ප්‍රවේශය නොමැතිකම හේතුවෙන්, රජයන්ගේ ණය පැහැර හැරීම් සහ මූල්‍ය කඩාවැටීම්වලට මුහුණපාමින් සංවර්ධනය වෙමින් පවතින රාජ්‍යයන් සහ ඒවායේ ආර්ථිකයන් දැඩි අවදානමට ලක්ව ඇති අතර, ජනතාව ඉහළ යන දරිද්‍රතාවට, විරැකියාවට සහ කුසගින්නට මුහුණ දෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස, විශේෂයෙන් දරුවන්ගේ පෝෂණ මට්ටම කෙරෙහි බලපෑම් එල්ල වෙමින් ඔවුන්ගේ අධ්‍යාපනය හා බුද්ධිමය දියුණුව අඩාළ වෙනවා. අපගේ උපරිම උත්සාහය පැවතිය ද, තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම හෝ දැනටමත් ලබාගෙන ඇති ජයග්‍රහණ පවත්වා ගැනීම සඳහා වන‍ අපගේ සාමූහික හැකියාව, වඩ වඩාත් දුෂ්කර වෙමින් පවතිනවා.

පසුගිය එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීමෙන් අනතුරුව, ශ්‍රී ලංකාව තුළ සැලකිය යුතු අන්දමේ වෙනස්කම් සිදු වී ඇත්තේ මෙම අභියෝගාත්මක ගෝලීය පසුබිම තුළය. අප මුහුණ දෙන බාහිර හා අභ්‍යන්තර අභියෝග මඟින් අපගේ ජනතාවට ප්‍රකෘතිමත් වීමට සහ සමෘද්ධියට තුඩුදෙන දේශපාලන, සමාජ හා ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සඳහා අවස්ථාවක් සපයනවා. අනාගතය සඳහා අපගේ සාමූහික දැක්ම වන, සියලුම ශ්‍රී ලාංකිකයන් සඳහා වඩාත් සාධාරණ, තිරසර සහ සමෘද්ධිමත් අනාගතයක් ‘වඩා යහපත් ලෙස නැවත ගොඩනැඟීම’ සඳහා අවස්ථාවක් සාක්ෂාත් කරගත යුතු මොහොත මෙය බව ශ්‍රී ලංකාව විශ්වාස කරනවා. අප මේ ගමන ආරම්භ කරන විට, එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාවේ සහයෝගය අපි අපේක්ෂා කරනවා.

රට තුළ පැවති දීර්ඝ කාලීන සමාජ නොසන්සුන්තා සහ විරෝධතාවලින් පසුව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය මාසයේ පාර්ලිමේන්තුවේදී සිය මංගල කතාවේදී ප්‍රකාශ කළේ, “ජාතිය ඉල්ලා සිටින සමාජ හා දේශපාලන ප්‍රතිසංස්කරණ මම ක්‍රියාත්මක කරමි” යනුවෙනි. මෙම ක්‍රියාමාර්ගවලට, වත්මන් ක්‍රියා පටිපාටි සමාලෝචනය, ප්‍රජාතන්ත්‍රවාදී පාලනයේ ආයතනික රාමුව ශක්තිමත් කිරීම සහ දිගුකාලීන ආර්ථික ස්ථාවරත්වය ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා හදිසි ක්‍රියාමාර්ග අනුගමනය කිරීම ඇතුළත් වෙනවා. මෙය කළ හැක්කේ අප විසින් මූල්‍ය විනය හා දුරදිග යන ආර්ථික හා ආයතනික ප්‍රතිසංස්කරණ දැඩි ලෙස පිළිපැදීමෙන් පමණක් බව අපි තේරුම් ගෙන තිබෙනවා. අපි ඒ ක්‍රියාවලිය සඳහා කැප වී සිටිනවා. යෝජිත ව්‍යවස්ථාදායක සහ ව්‍යවස්ථාමය සංශෝධන හරහා ස්වාධීන අධීක්ෂණ ආයතන මෙන්ම වැඩි දියුණු කරන ලද මහජන පරීක්ෂාවක් තුළින් ප්‍රජාතන්ත්‍රවාදී පාලනය ශක්තිමත් වනු ඇතැයි අපේක්ෂා කරනවා. යුක්තිය සඳහා ප්‍රවේශය ලබා දීමේදී විනිවිදභාවය, අඛණ්ඩතාව, වගවීම සහ සියල්ල ඇතුළත් බව සහතික කිරීම සඳහා නීතිමය සහ පරිපාලන රාමු ශක්තිමත් කෙරෙනවා. මෙම ක්‍රියාවලියේදී කාන්තාවන්ගේ සහ තරුණ තරුණියන්ගේ වැඩි සහභාගීත්වයක් සහතික කෙරෙනවා.

මෑත අතීතයේ සිදු වූ සිදුවීම් පිළිබඳ අපි දැනුවත්ව සහ දැඩි ලෙස සංවේදීව සිටිනවා. අපේ ජනතාව මුහුණ දෙන සමාජ ආර්ථික දුෂ්කරතා පිළිබඳව රජය අතිශයින් සංවේදී යි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කාර්ය මණ්ඩල මට්ටමේ අවබෝධයකට පැමිණීම පිළිබඳව අපි සතුටු වෙනවා. සමාජයේ අවදානමට ලක්විය හැකි කොටස් ආරක්ෂා කිරීම සඳහා අප පියවර ගෙන ඇති අතර, මෙම ආර්ථික ප්‍රතිසංස්කරණ මඟින් ඔවුන්ගේ ජීවිතවලට අවම බලපෑමක් ඇති කරන බවට සහතික කිරීම සඳහා උත්සාහ දරනවා. අපගේ ආයතන සහ සමාජය ඉතා දුෂ්කර තත්ත්වයන් හමුවේ කැපී පෙනෙන ඔරොත්තු දීමේ හැකියාවක් පෙන්නුම් කරනවා. අප සැවොම පරිශුද්ධ යැයි සලකන, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සඳහා කෙනෙකුට මූලික අයිතියක් ඇති බව අපි කොන්දේසි විරහිතව පිළිගනිමු. කෙසේ වෙතත්, මෙම නිදහස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය අනුපිළිවෙළ තුළ පැවතිය යුතු වන අතර, නීතියේ සීමාවන් තුළ තම අදහස් ප්‍රකාශ කිරීම පිළිබඳ මූලික යුතුකම සැලකිල්ලට ගනිමින් එය ක්‍රියාත්මක කළ යුතු බව ද වටහාගත යුතු වෙනවා.

කොවිඩ්-19 වසංගතයෙහි මානව සෞඛ්‍ය බලපෑම පාලනය කිරීම සඳහා වූ ශ්‍රී ලංකාවේ ජාතික ව්‍යාප්ත උපායමාර්ගය රජය විසින් ක්‍රියාශීලිව සහ වෙනස් කොට සැලකීමකින් තොරව ගන්නා ලද ක්‍රියාමාර්ගවල ප්‍රතිඵලයක් ලෙස සහ අපගේ ශක්තිමත් සෞඛ්‍ය රැකවරණ යටිතල පහසුකම් ඵලදායී ලෙස ලබා දීමේ හැකියාව හේතුවෙන් බොහෝ දුරට සාර්ථක වී ඇති බව මෙම උත්තරීතර සභාවට දැනුම් දීමට මම සතුටු වෙනවා. අපගේ එන්නත් කිරීමේ මෙහෙයුම, ලෝක සෞඛ්‍ය සංවිධාන ඉලක්ක ඉක්මවා ගොස් තිබෙනවා. කෙසේ වෙතත්, සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස අපි වසංගතයේ ආර්ථික බිඳවැටීමට විශාල වශයෙන් ගොදුරු වුණා. ගෝලීය සෞඛ්‍ය ජාල හරහා වන බහු පාර්ශ්වික සහයෝගීතාවයේ වැදගත්කම ඉස්මතු කරමින්, අප විසින් ප්‍රයෝජනයට ගත යුතු අනාගතය සඳහා කවුළුවක් වෛරසය විසින් විවෘත කොට තිබෙනවා.

2050 වසර වන විට කාබන් උදාසීනත්වය ළඟා කර ගැනීම සඳහා විමෝචනය අඩු කිරීමේ අරමුණින් යුතුව, පසුගිය වසරේ දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ රාමු සම්මුතිය වෙත වෙත ඉදිරිපත් කරන ලද පැරිස් ගිවිසුමේ සහ අපගේ යාවත්කාලීන කරන ලද ජාතික වශයෙන් නිර්ණය කළ දායකත්වයේ (NDC) ඉලක්ක සපුරාලීම සඳහා ශ්‍රී ලංකාව ප්‍රතිඥා දී තිබෙනවා. අපගේම උත්සාහයට සමගාමීව, ලෝකයේ විශාලතම හරිතාගාර වායු විමෝචනය කරන්නන් ඔවුන්ගේ කැපවීම් ඉටු කළ යුතු වන අතර, පොදු නමුත් වෙනස් වූ රාමුවක් යටතේ අනුවර්තනය වීමේ සහ අවම කිරීමේ පියවරයන් සඳහා සංවර්ධනය වෙමින් පවතින ජාතීන්ට සහාය විය යුතු බව අපි විශ්වාස කරනවා. 2030 වන විට ලෝකය ‘කුසගිනි ශුන්‍යය’ සාක්ෂාත් කර ගැනීම සඳහා නියමිත සන්ධිස්ථාන කරා නොපැමිණීමේ සම්භාවිතාවක් තිබෙනවා. ආහාර සහ පෝෂණ සුරක්ෂිතතාව විශාල අවදානමකට ලක්වනු ඇතැයි පුරෝකථනය කොට තිබෙනවා. ශ්‍රී ලංකාව මෙම අනතුරු ඇඟවීමේ සංඥා කෙරෙහි දැඩි අවධානයක් යොමු කරනවා. කෘෂිකර්මාන්තය නවීකරණය කරන ලද අංශයක් බවට තිරසර පරිවර්තනයක් සඳහා ශ්‍රී ලංකාව සහාය දෙන අතර, ආහාර සුරක්ෂිතතාව සහතික කිරීම සඳහා වැඩිදියුණු කළ ආහාර නිෂ්පාදනය දිරිමත් කරනවා. ශ්‍රී ලංකාව ජාතික ආහාර සුරක්ෂිතතා වැඩසටහන ආරම්භ කර ඇත්තේ කිසිදු පුරවැසියෙකු ආහාර හිඟය නිසා පීඩාවට පත් නොවිය යුතු බවත්, කිසිදු දරුවෙකු මන්දපෝෂණයට ගොදුරු නොවිය යුතු බවත් සහතික කිරීමේ ද්විත්ව අරමුණු සහිතවයි. දැඩි අභියෝග මධ්‍යයේ වුවද, තිරසර සංවර්ධනය පිළිබඳ 2030 න්‍යාය පත්‍රය සාක්ෂාත් කර ගැනීම සඳහා අප ලබා ඇති සැලකිය යුතු ප්‍රගතිය දිගටම පවත්වා ගැනීමට අපි උත්සාහ දරනවා. තිරසර සංවර්ධන දත්ත ලබා දීම පිළිබඳ අපගේ ප්‍රයත්නයන් මඟින් ආසියා-පැසිෆික් කලාපයේ ප්‍රමුඛ ස්ථානයකට අපව පත්කර ඇති අතර, එමඟින් අනාගතයේ දී තිරසර සංවර්ධන ඉලක්ක සඳහා ප්‍රතිපත්ති සම්පාදනය පිණිස සාක්ෂි දැනුවත් කිරීමේ ශ්‍රී ලංකාවේ හැකියාව වැඩි දියුණු කරනවා. මානව ප්‍රාග්ධනයේ ආයෝජනය අපේ රටේ අනාගතය සඳහා අත්‍යවශ්‍ය දෙයක් බව අපි පිළිගන්නවා. ශ්‍රී ලංකාව ගෝලීය වශයෙන් රටවල් 191ක් අතරින් 73 වැනි ස්ථානය හිමි කර ගනිමින් ඉහළ මානව සංවර්ධන කාණ්ඩයේ ශ්‍රේණිගත කිරීම සහ කලාපයේ ඉහළම ස්ථානය ලබා ගැනීම, පුදුමයට කරුණක් නොවේ.

සයිබර් අවකාශයේ සහ කෘත්‍රිම බුද්ධියේ නව තාක්‍ෂණ භාවිතය සම්බන්ධයෙන් නියාමන අධීක්ෂණ පාලන තන්ත්‍රයක් නොමැතිකම කෙරෙහි වහා අවධානය යොමු කළ යුතුව තිබෙනවා. මහා පරිමාණ කඩාකප්පල් කිරීම්, සාවද්‍ය තොරතුරු සහ විද්‍යාත්මකව ස්ථාපිත සොයාගැනීම් වළක්වාලීමට ඔවුන්ට ඇති හැකියාව සත්‍ය වශයෙන් සැලකිල්ලට ගත යුතු කරුණක් හා අප සැවොම මුහුණ දෙන අනතුරකි. ජාතියේ පළමු තොරතුරු සහ සයිබර් ආරක්ෂණ උපායමාර්ගය ක්‍රියාත්මක කරමින් පවතින ශ්‍රී ලංකාව, බහුජාතික සයිබර් තර්ජනවලට මුහුණ දීම සඳහා සයිබර් අවකාශය ආරක්ෂා කිරීම සඳහා හවුල්කාරිත්වය පදනම් කරගත් ප්‍රවේශයක් ස්ථාපිත කිරීමේ වැදගත්කම හඳුනාගෙන තිබෙනවා.

ත්‍රස්තවාදයේ ව්‍යසනය ගැන මම කෙටි සඳහනක් කළ යුතු වෙනවා. දශක ගණනාවක් තිස්සේ, ශ්‍රී ලංකාව ත්‍රස්තවාදයේ ගොදුරක් වුණා. ත්‍රස්තවාදීන්ගේ ඉලක්ක තෝරා ගැනීම, මූල්‍යකරණයේ ක්‍රම සහ රැඩිකල්කරණය මෙන්ම නව තාක්ෂණයන් ආයුධ ලෙස භාවිත කිරීම නිරන්තරයෙන් විකාශනය වෙමින් පවතිනවා. ප්‍රචණ්ඩ අන්තවාදයට තුඩු දෙන රැඩිකල් මතවාදයන්ට එරෙහි වීමට සහ ත්‍රස්තවාදීන් විසින් අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය වේදිකා භාවිතය සහ අපයෝජනය මැඬපැවැත්වීම සඳහා ව්‍යවස්ථාදායක ක්‍රියාමාර්ග සහ නීතිය ක්‍රියාත්මක කිරීමේ යන්ත්‍රණයන් ක්‍රියාත්මක කළ යුතු වෙනවා. ඒ අතරම, ත්‍රස්තවාදයට තුඩු දෙන ප්‍රචණ්ඩ අන්තවාදී මතවාදයේ බලපෑම් සහ බලපෑම් අවම කිරීම සඳහා තරුණයන්ගේ විවේචනාත්මක චින්තන හැකියාව වර්ධනය කිරීම, ප්‍රජා බැඳීම් ශක්තිමත් කිරීම, සිවිල් වගකීම පිළිබඳ හැඟීමක් පෝෂණය කිරීම සහ ප්‍රජා ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැඟීමට අවශ්‍ය වෙනවා.

ජාත්‍යන්තර සාමය සහ ආරක්ෂාව පවත්වා ගැනීම සඳහා අපගේ දායකත්වය ලෙස, එක්සත් ජාතීන්ගේ සාම සාධක නිලධාරීන් ලෙස සේවය කිරීම සඳහා වෘත්තීය පිරිමින් සහ කාන්තාවන් යෙදවීමෙන් එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් සඳහා අපගේ සහභාගීත්වය වැඩි දියුණු කිරීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරනවා. දශක ගණනාවක් තිස්සේ නිල් හිස් වැසුම යටතේ සිදු කළ ගැටුමේ සිට සාමය දක්වා වූ දුෂ්කර මාවතේ ගමන් කිරීම සඳහා රටවලට උපකාර කළ දහස් ගණනක් පිරිමින්ට සහ කාන්තාවන්ට ගෞරව කිරීම සඳහා මම මෙය අවස්ථාවක් කර ගන්නවා. ත්‍රස්තවාදයට එරෙහි සහ කැරලි මර්දන මෙහෙයුම් පිළිබඳ අත්දැකීම් සම්භාරයක් ඇති ශ්‍රී ලංකා සාමසාධක භටයින් මානව හිමිකම් ප්‍රවර්ධනය සහ ආරක්ෂා කිරීම ඇතුළුව සාම සාධක කටයුතු සඳහා අවශ්‍ය සියලුම කාර්යයන් පිළිබඳ න්‍යායික හා ප්‍රායෝගික දැනුමෙන් පුහුණුව ලබා ඇති බව සහතික කිරීම පිණිස අපි බොහෝ ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.

මෙම උත්තරීතර සභාවෙහි මෙහෙවර මෙය වන අතර, සමහර විට වසර 77කට පෙර එය ස්ථාපිත කිරීම සඳහා වූ ඒකීය හේතුව ද විය හැකි බව මම දන්නවා. මෙහි සාමාජිකයින් වීමට, සහභාගී වීමට, දෘශ්‍යමාන වීමට, සවන් දෙනු ලැබීමට, අපගේම රසයන්, ඉදිරි දර්ශන, ඉතිහාසය සහ දැනුමෙන් මෙම සංවිධානය සහ මෙම කදිම ඒකාබද්ධතාවය අලංකාර කිරීමට සහ අප සම්බන්ධ වන පොදු කටයුතු සාකච්ඡා සහ ආරවුල් තුළින් වර්ධනය වීම සඳහා ශ්‍රී ලංකාව සහ තවත් බොහෝ අය අයදුම් කිරීමට හේතුව එය විය හැකියි. විවිධ මතවාද සහ සමාජ ක්‍රම නොතකා, සියලු රටවල් සමඟ මිත්‍රත්වය මත පදනම් වූ නොබැඳි සහ ස්වාධීන විදේශ ප්‍රතිපත්තියක් සඳහා සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදී මාවතට ශ්‍රී ලංකාව කැප කළ, අපගේ දිවංගත අගමැතිවරයෙකුගේ නිරීක්ෂණ උපුටා දක්වමින් මගේ කතාව අවසන් කරනවා. එතුමා පැවසුවේ, ‘අපි අප වෙනුවෙන් නව සමාජයක් ගොඩනඟා ගත යුතුයි. මම කියා ඇති ආකාරයේ අපේ රටේ බුද්ධිමතුන්ට වඩාත් ගැළපෙන එකක්. අද පවතින වෙනස් වන ලෝකයක සන්දර්භය තුළ, අපගේ මිනිසුන්ට ගැළපෙන සමාජයක සංගත ස්වරූපයක් සාදනු ලබන තෙක්, අපි මේ පාර්ශ්වයෙන් අදහස් සහ මූලධර්ම සහ තවත් සමහරක් අනෙක් පාර්ශ්වයෙන් ලබා ගැනීමට කැමැති විය යුතුයි. අපි මේ බලමණ්ඩලයේ පක්ෂයේ හෝ අනෙක් පක්ෂයේ නොසිටින්නේ එම නිසායි

මෙහි නියෝජනය කරන ජාතීන් 193 යුක්තිය ස්ථාපිත කිරීමට, සාමය පවත්වා ගැනීමට සහ පෙර නොවූ විරූ ලෙස කරදරයට පත් වූ ලෝකයක ප්‍රගතිය සහතික කිරීම සඳහා ඒකාබද්ධව වගකීම බෙදා ගන්නා බව සඳහන් කිරීමට මට අවසර දෙන්න. ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අපගේ උත්තරීතර නීතිය සහ අනෙකුත් දේශීය ප්‍රඥප්ති ඇතුළත් ප්‍රඥප්තියක් සහ ජාත්‍යන්තර නීතියේ ප්‍රබල දේහයක් අප සතුව තිබෙනවා. මේ සියලු විදග්ධතාවන් තිබියදී ද, බහුවිධ අභියෝග පවතින බවටද අපි තදින්ම සචේතනිකය. මෙම අභියෝග ජය ගැනීමට ශ්‍රී ලංකා රජය කැපවී සිටිනවා. අප මුහුණ දී ඇති අර්බුදය උපයෝජනය කරමින්, කිසිවකුත් අත්හැර නොදමා, වඩා හොඳින් නැවත ගොඩනඟා, නිදහසේ සහ ප්‍රගතියේ නව ක්ෂිතිජයන් කරා නැඟීමේ අවංක බලාපොරොත්තුවෙන් යුතුව එම කැපවීම සඳහා ශ්‍රී ලංකාව අද ප්‍රතිඥා දෙනවා.

ශ්‍රී ලංකාව මුහුණ දෙන වත්මන් අභියෝග නව ගමනක ඇරඹුමක්

More articles

Latest article