33 C
Colombo
සිකුරාදා, අප්‍රේල් 19, 2024

ශ්‍රී ලංකාව දැන් ඉන්දියානු සාගරයේ ප්‍රධාන වෙළෙඳ මධ්‍යස්ථානයක් වෙලා – අමාත්‍ය අලි සබ්රි

Must read

සාමාජිකයන් 23 දෙනෙකුගෙන් යුත් ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ (IORA) අමාත්‍ය කවුන්සිලයේ 22 වැනි රැස්වීම ඇමතූ විදේශ කටයුතු අමාත්‍ය එම්.යූ.එම්. අලි සබ්රි මැතිතුමා, ශ්‍රී ලංකාවේ ආර්ථික සහ වාණිජ අවශ්‍යතා අන්‍යෝන්‍ය වශයෙන් වැඩිදියුණු කිරීමට මෙන්ම ඉන්දියන් සාගර කලාපය තුළ සාමය සහ ස්ථාවරත්වය පවත්වා ගැනීමට ඉන්දියානු සාගර කලාපයේ රටවල් සමඟ ක්‍රියාකාරීව සම්බන්ධ වීමේ වැදගත්කම සහ අවශ්‍යතාව අවධාරණය කළේ ය. ඉන්දියානු සාගර කලාපය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සතු කැපවීම ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික සහ විදේශ ප්‍රතිපත්තියේ ප්‍රධාන අංගයක් වශයෙන් පවතින බවද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේ ය.

ඉන්දියානු සාගර කලාපයේ වෙළෙඳ හා වාණිජ කටයුතු මෙන්ම සබඳතා පවත්වාගෙන යාම හා සබැඳි ඓතිහාසික පසුබිම පිළිබඳව සිහිපත් කළ අමාත්‍යවරයා, ශ්‍රී ලංකාව ලෝකයේ කාර්යබහුලම සමුද්‍රීය මාර්ගයක් මධ්‍යයේ උපායමාර්ගිකව ස්ථානගත වී ඇති බව අවධාරණය කළේ ය. වැඩිදුර අදහස් පළ කළ අමාත්‍යවරයා, ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ රටවල් සමඟ ශ්‍රී ලංකාව පවත්වන සාම්ප්‍රදායික හා පෞරාණික සබඳතා සියවස් ගණනාවක අතීතයකට දිව යන බවත්, ශ්‍රී ලංකාවේ භූගෝලීය කේන්ද්‍රස්ථානය ශතවර්ෂ ගණනාවක් මුළුල්ලේ පටන් සමුද්‍රීය වාණිජ කටයුතු හා වෙළෙඳාම සඳහා කැපී පෙනෙන ලෙස පහසුකම් සලසා ඇති බවත්, පවතින සාක්ෂිවලින් හෙළි වන බව සඳහන් කළේ ය.

ශ්‍රී ලංකාව වෙළෙඳ හා වාණිජ කටයුතු සඳහා කැපී පෙනෙන විවෘතභාවයක් පෙන්නුම් කර ඇති බවත්, අද වන විට ශ්‍රී ලංකාව ඉන්දියානු සාගරයේ ප්‍රධාන වෙළෙඳ කේන්ද්‍රස්ථානයක් බවට පත්ව ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේ ය. ඉන්දියානු සාගරයේ කේන්ද්‍රස්ථානයක් ලෙස ලබා ඇති ප්‍රගතිය විමසන කල, ගෝලීය ඛනිජ තෙල් නිෂ්පාදනවලින් තුනෙන් දෙකක් සහ බහාලුම් නැව්ගත කිරීම්වලින් අඩක්ම දිවයිනේ දකුණු වෙරළට ආසන්නයෙන් ගමන් ගන්නා බැවින් ශ්‍රී ලංකාව ප්‍රධාන නාවික ගමන් මාර්ගයක් බවට පත්ව ඇති බව හඳුනාගත හැකි ය.

අමාත්‍යවරයා මෙහිදී, සමුද්‍ර සම්පත් තිරසාර හා කාර්යක්ෂම ලෙස භාවිතා කිරීම සඳහා ශ්‍රී ලංකාව දරන ප්‍රයත්න, දැවැන්ත අයුරින් සිදුවන සාගර දූෂණය හේතුවෙන් මතු වන අභියෝග මෙන්ම වෙරළ තීරය සහ ඉන්දියානු සාගරය ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘති සහ වැඩසටහන් සම්බන්ධයෙන් ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ අමාත්‍ය කවුන්සිලයේ සාමාජික රටවල් දැනුම්වත් කළේ ය. මෙලෙස සිදු කරනු ලැබුවේ පසුගිය වසරේ සිදු වූ එම්.වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ව්‍යසනයෙන් පසුව ඉන්දියානු සාගරය දූෂණය වීම වැළැක්වීම සහ පවිත්‍රතාව රැකගැනීම සඳහා ය.

ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමය සහ කලාපය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සතු අවශ්‍යතා මෙන්ම, ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ වත්මන් උප සභාපතිත්වය දරන ශ්‍රී ලංකාව සංවිධානය තුළ විදහා දක්වන ක්‍රියාකාරී භූමිකාව පිළිබඳව අවධාරණය කළ අමාත්‍යවරයා, වත්මන් භූ-දේශපාලනික සහ භූ-ආර්ථික තත්ත්වය තුළ ඉන්දියානු සාගරය තුළ වේගයෙන් ඉස්මතු වන වැදගත්කමට අනුව, 2023-2025 වර්ෂ තුළ මෙම සංවිධානයේ විෂය පථය සහ වපසැරිය වඩාත් අදාළ සහ වඩාත් යෝග්‍ය වන පරිදි තවදුරටත් පුළුල් කිරීමට සහ ඉහළ නැංවීම සඳහා එහි සභාපතිත්වය දැරීමට නියමිත ශ්‍රී ලංකාව ස්ථිර විශ්වාසයකින් පසුවන බව සඳහන් කළේ ය.

ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ සාමාජික රටවල් 23 හි විදේශ කටයුතු අමාත්‍යවරුන් සහ විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරුන් සහ ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ සංවාද හවුල්කරුවන් 10 දෙනාගේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මෙම රැස්වීම සඳහා සහභාගී වූහ. අමාත්‍ය සබ්රි මැතිතුමා, ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ අමාත්‍ය කවුන්සිල රැස්වීමට සමගාමීව, ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ සාමාජික රටවල මිත්‍ර පාර්ශ්ව සාමාජිකයන් සහ බංග්ලාදේශ රජයේ ජ්‍යේෂ්ඨතම ප්‍රධානීන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත ය.

ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා, විදේශ කටයුතු අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරුන් සහ මහ කොමසාරිස් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත දූත පිරිසක් ද අමාත්‍ය සබ්රි මැතිතුමා සමඟ මෙම අවස්ථාවට සහභාගී වූහ.

විදේශ කටයුතු අමාත්‍යංශය

කොළඹ

More articles

Latest article