30 C
Colombo
බදාදා, මාර්තු 27, 2024

විදේශ කටයුතු ඇමැති කොළඹ සිටින රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාව දැනුම්වත් කරයි

Must read

නව ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම මෙන්ම අන්තර්වාර රජය පිහිටුවීමේ ක්‍රියාදාමයන් ප්‍රජාතන්ත්‍රවාදි ව්‍යවස්ථාමය රාමුවක් තුළ සිදුකර තිබෙන බවට විදේශ කටයුතු ඇමැති ඒ.එම්.යූ. අලි සබ්රි මහතා විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයන් හමුවේ ප්‍රකාශ කර තිබේ.

විදේශ කටයුතු ඇමැතිවරයා විදේශ කටයුතු අමාත්‍යාංශයේදී රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාව සමඟ පැවැත් වූ සිය පළමු සාකච්ඡාව අතරතුර, මෙරට නව ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමෙන් අනතුරුව සහ නව රජය පිහිටුවීමෙන් පසුව ලද ප්‍රධාන වර්ධනයන් පිළිබඳ කොළඹ සිටින තානාපතිවරු සහ මහ කොමසාරිස්වරු දැනුම්වත් කරමින් මේ බව සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තෝරා පත් කරගැනීම මෙන්ම අන්තර්වාර රජය පිහිටුවීම සඳහා ඉවහල් වූ ශ්‍රී ලංකාවේ මෑතකාලීන දේශපාලන වර්ධනයන් පිළිබඳ ඇමැතිවරයා මෙහිදී කරුණු දැක්වීය. ඊට අදාළ ක්‍රියාදාමයන් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථාමය රාමුවක් තුළ සිදු කෙරිණි. ජාත්‍යන්තර ප්‍රජාවට අයත් සියලුම හවුල්කරුවන් සමඟ සාකච්ඡා පැවැත්වීම ප්‍රමුඛ කර්තව්‍යයක් ලෙස සලකමින්, මෙරට මුහුණ දෙන ආර්ථික අභියෝග කඩිනමින් විසඳීම සඳහා ජනාධිපතිවරයා සතු කැපවීම විදේශ කටයුතු ඇමැතිවරයා අවධාරණය කළේය.

වත්මන් සමාජ-ආර්ථික සන්දර්භය තුළ මතුව ඇති ගැටලු විසඳීම සඳහා ශ්‍රී ලංකාව වෙත දෙන සහය පිළිබඳ විදේශ කටයුතු ඇමැතිවරයා ජාත්‍යන්තර ප්‍රජාව වෙත සිය කෘතඥතාව පළ කළේය.

වත්මන් අභියෝගවලට මුහුණ දීම සඳහා ජනාධිපතිවරයා අනුගමනය කරන පුළුල්, උපදේශනාත්මක ප්‍රවේශය පිළිබඳ විස්තර කළ විදේශ කටයුතු ඇමැතිවරයා, සර්ව පාක්ෂික රජයක් පිහිටුවීම පිළිබඳ මේ වන විට ක්‍රියාත්මක වන සාකච්ඡා පිළිබඳ ද සඳහන් කළේය.

අද (3) පැවැත්වීමට නියමිත මිළඟ පාර්ලිමේන්තු සැසිවාරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන නව රජයේ ප්‍රතිපත්ති ප්‍රමුඛතාවලට අනුව, සැමට මිත්‍රත්වය දැක්වීම නමැති මූලධර්මය මත පදනම් වූ ශ්‍රී ලංකාවේ මධ්‍යස්ථ සහ නොබැඳි විදේශ ප්‍රතිපත්තිය අමාත්‍ය සබ්රි මහතා මෙහිදී අවධාරණය කළේය.

More articles

Latest article