31 C
Colombo
අඟහරුවාදා, අප්‍රේල් 23, 2024

ප‍්‍රතිසංස්කරණයකට ලක්වූ පිටකොටුව පාවෙන වෙළඳ සංකීර්ණය ජනතා අයිතියට

Must read

වාණිජ මධ්‍යස්ථානයක්, ඓතිහාසික නගරයක් සහ වාණිජ නගරයක් යන කරුණු තුන යටතේ, කොළඹ පිටකොටුව ආශ‍්‍රිත ප‍්‍රදේශ සංවර්ධනය කිරීමේ දැවැන්ත ක‍්‍රියාවලියේ තවත් එක් අවස්ථාවක් සනිටුහන් කරමින් අතිගරු ජනාධිපති සහ ගරු අගමැතුමන්ගේ උපදෙස් පරිදි පසුගිය 7 වෙනිදා පිටකොටුව පාවෙන වෙළඳ සංකීර්ණය (Floating Market) පූර්ණ ප‍්‍රතිසංස්කරණයකට ලක් කිරීමෙන් පසු යළි විවෘත කෙරිණ.

පාවෙන වෙළඳ සංකීර්ණය සහ පිටකොටුව ආශ‍්‍රිත ප‍්‍රදේශය මෙසේ සංවර්ධනයට ලක් කෙරෙන්නේ පසුගිය යහපාලන රජය යටතේ සංවර්ධනය නොකර අතහැර දමා තිබූ හේතුව මතයි.

2014 අගෝස්තු 25 වන දින විවෘත කෙරුණු පාවෙන වෙළඳ සංකීර්ණය එවකට රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්ව සිටි අවධියේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පයක් මත ඇරඹුණකි.

ඉන් වසර 06 කට පසු මෙසේ ප‍්‍රතිසංස්කරණය කරන ලද පිටකොටුව පාවෙන වෙළඳ සංකීර්ණය වත්මන් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ වත්මන් ගරු අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් සහ මඟපෙන්වීම මත යළි විවෘත කෙරුණේ ප‍්‍රතිසංස්කරණය කිරීමෙන් පසුවයි. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා ලෙස අග‍්‍රාමාත්‍යතුමා මෙම කටයුතු නිසි පරිදි සිදු කිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් ලබා දෙන ලදී.

කොළඹ පිටකොටුව පාවෙන වෙළඳ සංකීර්ණය ප‍්‍රතිසංස්කරණය කර යළි ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට ප‍්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ, නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ අපද්‍රව්‍ය බැහැරලීම හා ප‍්‍රජා පවිත‍්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන යදාමිණි ගුණවර්ධන, පේ‍්‍රමනාත් සී දොළවත්ත, ජගත් කුමාර, කොළඹ නාගරික මන්ත‍්‍රී ප‍්‍රදීප් ජයවර්ධන, කොළඹ මහ නගර සභාවේ නගරාධිපති රෝසි සේනානායක, කොළඹ නාගරික කොමසාරිස් රෝෂිණී දිසානායක යන මහත්ම මහත්මීන් පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වුණි.

ඊට අමතරව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, වරලත් නගර නිර්මාණ ශිල්පි ප‍්‍රසාද් රණවීර ඇතුළු තවත් රාජ්‍ය ආයතනවල නිලධාරිහු රැුසක් ද මෙම අවස්ථාවට සහභාගි වී සිටියහ.

කොළඹ නගරය ආශ‍්‍රිත ප‍්‍රදේශය මෙසේ නවීකරණය කර ප‍්‍රතිසංස්කරණය කෙරුණ ද පසුගිය පාලන කාලය තුළ නිසි නඩත්තුවක් නොකිරීම නිසා දුඟද, දුවිල්ල, උතුරා යන කාණු පද්ධති, තදබල අපිරිසිදුකම, කැළිකසල ගොඩගැසීම, ඝෝෂාකාරී වටපිටාව, අවිධිමත් පරිසරය, අක‍්‍රමවත් වෙළඳ රටාව වැනි තත්වයන් දක්නට ලැබුණි.

මෙතෙක් කාලයක් අවිධිමත් නගරයක් ලෙස පැවති, ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන ආර්ථික මධ්‍යස්ථානය සහ ප‍්‍රවාහන මධ්‍යස්ථානය වන කොළඹ පිටකොටුව ආශ‍්‍රිත ප‍්‍රදේශයේ නිවැරදි නගර සංවර්ධන සැලැස්මක් ක‍්‍රියාත්මක කිරීම වත්මන් රජයේ ප‍්‍රධාන අරමුණක් වන අතර පාවෙන වෙළඳ සංකීර්ණය පූර්ණ ප‍්‍රතිසංස්කරණයකට ලක් කෙරෙන්නේ ද එහි එක් පියවරක් වශයෙනි.

යළි විවෘත කෙරුණු පාවෙන වෙළද සංකීර්ණයේ සම්පූර්ණ වෙළඳ කුටි සංඛ්‍යාව 103 කි. මෙම ප‍්‍රමාණයෙන් වෙළඳ කුටි 80% ක් අකාලයේ පදනමක් රහිතව වැසී යාමට පහුගිය යහපාලන රජය කටයුතු සලස්වා තිබිණ.

රුපියල් මිලියන 312 ක් වැය කරමින් ඉඳිකළ මෙම වෙළඳ සංකීර්ණයේ මූලික සැලසුම වූයේ වැය වූ සම්පූර්ණ වියදමින් 50% ක් වසර 05 කදී උපයා ගැනීමට තිබූ සැලසුමට බරපතල ලෙස හානි පැමිණ තිබීමයි.

ඒ සම`ගම සිදුවූ අනෙක් හානිය වූයේ, යළි ආපස්සට හැරවිය නොහැකි ලෙස යහපාලන රජය කාලය අපතේ යවා තිබීමයි.

එසේ ම ශ‍්‍රී ලංකාවට විදේශීය සංචාරකයන් ගෙන්වා ගැනීම සඳහා වූ සැලසුම ද පියවර ගණනාවකින් පසුපසට ඇදී ගොස් තිබිණ, සාම්ප‍්‍රදායික වෙළෙඳ රටාව වෙනස් කිරීම, නව නිර්මාණශීලී ව්‍යාපාර බිහි කිරීම, දේශීය සංචාරකයන්ට නැවුම් අත්දැකීම් ලබාදීම යන අපේක්ෂාවන් ද බිඳ වැටීමකට ලක්කර තිබිණ.

මේ අනුව ඉදිරියට ද මෙම පාවෙන වෙළඳ සංකීර්ණයේ සහ ඊට අදාළ සංවර්ධන ව්‍යාපෘතින් ක‍්‍රමවත්ව අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යාමට හැකිවන ආකාරයේ සැලසුමක් සකස් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුවී තිබීම විශේෂත්වයකි.

More articles

Latest article