32 C
Colombo
සඳුදා, අප්‍රේල් 22, 2024

හිටපු ජනපති ගෝඨාභයගේ බිරියගෙන් ලක්ෂ 10ක් කප්පම් ඉල්ලූ අරගලකරුවා අත්අඩංගුවට

Must read

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ බිරිය අයෝමා රාජපක්ෂ මහත්මියට දුරකථන ඇමතුම් දෙමින් රුපියල් ලක්ෂ 10ක කප්පමක් ඉල්ලා තර්ජනය කළ කරනවෑමියකුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික පරිගණක අපරාධ විද්‍යාගාරයේ නිලධාරීන් විසින් පෙරේදා (24) අත්අඩංගුවට ගෙන තිබේ.

ගාලුමුවදොර අරගල බිමේ නිරන්තරයෙන් රැදී සිටි කොළොන්නාව සාලමුල්ලේ පදිංචිකරුවෙක් වන ගනේෂන් යෝගන් නමැති 38 හැවිරිදි පුද්ගලයෙක් අවස්ථා කිහිපයකදීම ඇමතුම් දෙමින් ඇගෙන් කප්පම් ඉල්ලා ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

රුපියල් ලක්ෂ 10ක් තමාට නොදුනහොත් ගාලුමුවදොර අරගලය මෙන් නොව, සුනාමියක් මිරිහානේ නිවසට රැගෙන එන බව කියමින් ඔහු තර්ජනය කර ඇති බව සඳහන්ය. දින තුනක් මෙසේ ඇයට තර්ජනය කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලද පැමිණිල්ලෙහි සඳහන්ය. පළමු දින දුරකථන ඇමතුම් 19ක්ද, දෙවැනි දින දුරකථන ඇමතුම් 08ක්ද තෙවැනි දින දුරකථන ඇමතුම් 03ක්ද දෙමින් තර්ජනය කර ඇති බව විමර්ශනවලින් අනාවරණය වී තිබේ. මෙසේ ඇමතුම් ලබා දෙමින් රුපියල් ලක්ෂ 10ක කප්පමක් ඉල්ලා තර්ජනය කළ පුද්ගලයා හඳුනාගෙන අත්අඩංගුවට ගැනීමෙන් පසු අනාවරණය වී ඇත්තේ ඔහු අරගල භූමියටද නිතර ආ ගිය අයෙක් බවය.

අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී මුලින්ම ඔහු පවසා ඇත්තේ සිය ජංගම දුරකථනය අස්ථානගතව ඇති බවකි. එසේ නම් ඒ ගැන පොලිසියට කළ පැමිණිල්ලක් තිබේදැයි විමසන විට ඔහු නිරුත්තර වී තිබේ. එම දුරකථනය ඔහු සන්තකයේ තවදුරටත් ඇතැයි එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තාක්ෂණික විමර්ශනයක් ඔස්සේ තහවුරු කර ඇත. එවිට ඔහු පවසා ඇත්තේ දුරකථනය නැති වීමෙන් පසු තමා අලුත් සිම්පතක් ගත් බවය. එහෙත් අලුත් සිම්පතක් ඔහු ගෙන නැති බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තහවුරු කරමින් ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී පවසා ඇත්තේ තමාට රුපියල් ලක්ෂ 10ක මුදලක් ලැබීමට ඇති අයෙකුට දුරකථන ඇමතුමක් දෙමින් මුදල් ඉල්ලා සිටි බවත් තමා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ බිරියට නම් ඇමතුමක් නොගත් බවය. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ බිරියට ඇගේ ජංගම දුරකථනයට ඇමතුම් දෙමින් තර්ජනය කරන විට හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම්වරයෙකු විසින් ඔහුට දුරකථන ඇමතුමක් දෙමින් ඇය හිටපු ජනාධිපතිවරයාගේ බිරිඳ බව පැහැදිලි කර දී ඇතැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එසේ තිබියදීත් ලේකම්වරයාගේ ඇමතුමෙන් පසුවද ඇමතුම් 12ක් ඇයට ලබා දී තර්ජනය කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිය විමර්ශනවලින් අනාවරණය කරගෙන තිබුණි. ඒ ගැන සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු නිසි යමක් නොකියන බවත් විවිධ ප්‍රකාශ කරමින් සිටින බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මෙම පුද්ගලයා සැලසුම් සහගතව මෙම ඇමතුම ගෙන තර්ජනය කර ඇති බව මූලික විමර්ශනවලින් පෙනී ගොස් ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය. ඔහුට හිටපු ජනාධිපති බිරියගේ පෞද්ගලික ජංගම දුරකථන අංකය ලැබුණු ආකාරය සැක සහිත බවත් ඒ ගැන වැඩි දුර විමර්ශන සිදුවෙමින් ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

More articles

Latest article