26 C
Colombo
බදාදා, අප්‍රේල් 24, 2024

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ උපන්දිනයට දසතින් සුබ පැතුම්

Must read

ශ්‍රී ලංකාවේ පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්ම දිනය අදට යෙදී තිබේ.

මෙම ලිපිය ඒ නිමිත්තෙනි.

මහින්ද රාජපක්ෂ මැතිතුමා 1970 මැයි මස 27 වැනි දින පැවැති පාර්ලිමේන්තු මැතිවරණයෙන් ශ්‍රී ලංකාවේ ළාබාලතම මන්ත්‍රීවරයා ලෙස පළමු වරට තේරී පත් වූයේය. එවක් පටන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු හම්බන්තොට දිස්ත්‍රික්ක දේශපාලන අධිකාරියේ සභාපති තනතුර මෙන්ම කැබිනට් මණ්ඩලයේ සාමාජික අමාත්‍යවරයකු, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයකු හා අගමැතිවරයකු වශයෙන් වගකීම් අතිවිශිෂ්ට අන්දමින් ඉටුකරමින් ශ්‍රී ලංකාවේ ඉහළම තනතුර වූ ජනාධිපති තනතුර දෙවරක්ම දැරීමට එතුමා වාසනාවන්ත වූයේය. 2013 දී පොදු රාජ්‍ය මණ්ඩලයේ රාජ්‍ය නායක සභාපති ධුරය දරමින් ලෝක රාජ්‍ය නායක මට්ටමට පත්වූයේය. එය ශ්‍රී ලංකාව ලෝකයේ ගෞරවාදරයට පත් කරන්නක් වූයේය.

එතුමාගේ මේ ගමන්මඟ මල්පියලි අතුළ සුව පහසු ගමන් මඟක් නොවීය. අරගල, අර්බුද හා අභියෝග මතින් පැමිණි අතිශයින්ම ජයග්‍රාහි මාවතක්ම වූයේය.

ප්‍රදේශයේ ජනතාව අතර එතුමාගේ නාමය පැළපදියම් වී ඇත්තේ ‘ජනාධිපතිතුමා’ ‘අගමැතිතුමා’ ආදී වශයෙන් නොව ‘අපේ මහින්ද මහත්තයා’ කියාය. ජනාධිපතිතුමාව සිටියදී හා අගමැති තනතුර දරන විටදී ඒ තනතුරෙන් අමතන්නට සිදු වූ විටදී පවා ඇමතුවේ ‘අපේ අගමැතිතුමා’ හෝ ‘අපේ ජනාධිපතිතුමා’ වැනි ආදරණීය අපේකමක් ඉදිරියට දමාගෙනය. මෙය කෙනකුට වුවමනාවෙන් ආයාසයෙන් ඇති කරගත හැකි ළෙන්ගතුකමක් නොවේ. ක්‍රියාකාරිත්වය තුළින් නිරායාසයෙන් ලැබුණු දායාදයකි.

එතුමා නීති වෘත්තිකයකු ලෙස කටයුතු කරන කාලයේ අනෙකුත් එවැනි වෘත්තිකයන්ගෙන් වෙනස් කෙනකු වූයේය. සහනයක් අපේක්ෂාවෙන් පැමිණි සේවාදායකයන් දෙස බැලුවේ උපකාරයක් බලාපොරොත්තුව පැමිණි අයකු දෙස බලන ආකාරයෙනි. එම නිසා එතුමාගේ නීතිඥ වෘත්තියද සමාජ සේවා මෙහෙවරක් මෙන් විය. නීති වෘත්තියෙන් ලැබෙන මුදල්ද තමාගෙන් පිහිට පතා පැමිණි අන් අයට දන් දී සමහර දිනක එතුමා නිවසට පැමිණෙන්නේ ගමන් වියදමවත් නොමැතිවය. ජනප්‍රිය අති දක්ෂ නීති වෘත්තිකයකු වුවද ඒ මතින් වත් පොහොසත්කම් ලද ‘මහේශාක්‍ය නීතිඥයකු’ වීමට එතුමාට නොහැකි විය. එමෙන්ම එවන් අපේක්ෂාවක් ද එතුමාට නොමැති විය.

නඩු බාර ගත්තේ ද තෝරා බේරාගෙනය. ඉහළ මුදලක් යෝජනා කෙරුණු නඩු පවා අතහැරියේ අනෙක් පාර්ශ්වයට යුක්තියට වඩා අසාධාරණයක් සිදුවිය හැකි අවස්ථා සලකා බැලීමෙනි.

1988 -89 ‘ධවල භීෂණ’ සමයේ රාජ්‍ය මෙන්ම රජයට අර්ධ වශයෙන් හෝ සම්බන්ධ කල්ලි කණ්ඩායම් වශයෙන් රාජ්‍ය ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්ද – ‘උකුස්සා’ ‘කළු කොටි’ ‘කොළ කොටි’ – ‘ගෝනි බිල්ලා’ ආදී සංවිධාන ද ‘දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය’ නම් වූ සංවිධානය විසින් ශ්‍රී ලංකාව එක්තරා ආකාරයක අමු සොහොනක් බවට පත් කර තිබුණි.

මානව හිමිකම් පිළිබඳ කාල්ටන් නීතිවේදී සංවිධානය බිහි කිරීමට එතුමා කටයුතු යෙදීය. එහි ‘නීති අධ්‍යක්ෂ ජනරාල්’ තනතුර සංවිධානයේ ඒකමතික සම්මතයෙන් එතුමාට පිරිනැමුණි. ඒ වන විට ‘නොහඳුනන තුවක්කු කරුවන්ගේ’ ගොදුරු බවට බොහෝ තරුණ පිරිස් ලක්වීම සිදු විය. තැන තැන ‘ටයර් සෑයේ’ දැවෙන මළකඳන් ගොඩවල් අලුයම වන විට දැක ගැනීමට හැකි විය.

ඡායාරූප සහිතව පහළොස් දහසක විස්තර වාර්තාවක් සමඟ ජිනීවා මානව හිමිකම් කොමිසමට පැවසීමට තරම් මෙතුමාගේ සංවිධාන ශක්තිය ඉවහල් විය. ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ (‘ඇම්නෙස්ට් ඉන්ටනැෂනල්’) නියෝජිතයන් ශ්‍රී ලංකාවට ගෙන්වා මේ තොරතුරු ලබා දීමට එතුමා සමත්විය. යුගයේ කාර්යභාරය ඉටුකිරීමට එතුමාට විටින් විට අවස්ථාව උදා වූයේ එසේය.

මහින්ද රාජපක්ෂ මැතිතුමා පළමු වරට ජනාධිපති තනතුරට පත් වූ අලුතම රතුගල ආදිවාසී නායක සුදාල වන්නිල ඇත්තන්ට ජනාධිපතිතුමා හමුවීමට අවශ්‍ය වී කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරව කොළඹට පැමිණ සිටියේ ය. ඒ බව පොලිසිය මඟින් ගරු ජනාධිපතිතුමාට දැනගන්නට ලැබුණි. සුදාල වන්නිල ඇත්තන් සමඟ පෙර දැනහැඳුනුම් කමක් තිබුණ නිසා අතිගරු ජනාධිපතිතුමා සමඟ සම්බන්ධීකරණ කටයුතු මට බාර විය.

සුදාල වන්නිල ඇත්තො රතුගල ආදිවාසී නායක පැමිණ සිටියේ කැලයේ කොටු වූ හුදකලා ගම්මාන ගතව සිටි තම වර්ගයාට විදුලිය ලබා ගැනීමටයි. සැතපුම් 35ක දුරක් කැලය මැදින් විදුලිය රැහැන් ඇදීම ප්‍රශ්නයක් විය. විදුලි බල අමාත්‍ය ගරු අනුරුද්ධ රත්වත්තේ මැතිතුමා සමඟ ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මැදිහත් වීමෙන් සාකච්ඡාවක් ලබාගත හැකි විය. රතුගල කැලෑවෙන් ආදීවාසී ගම්මානයට විවෘත විදුලි රැහැන් නොයොදා ආවරණය කරන ලද ආරක්ෂිත විදුලිය රැහැන් යොදමින් අධික වියදම් දරා රතුගල ආදීවාසී ගම්මානයට විදුලිය ලබා දුණි. මේ වන විට රතුගල ගම්මානයේ පරිගණක විද්වතුන් මෙන්ම ඉංග්‍රීසි භාෂාව උගත් ගුරුවරුන්ද බිහි වී සිටිති.

ශ්‍රී ලංකාවේ ශීඝ්‍ර සංවර්ධනය ඉක්මන් කරවීමට නම් යටිතල පහසුකම් අත්‍යවශ්‍ය බව එතුමාගේ අනාගත දැක්ම විය. එවකට ජනතාවට නුහුරු ආගන්තුක අධිවේගී මාර්ග ජාලය ආරම්භය විශ්මයජනක විය. එයට යෙදිය යුතු පිරිවැය ශ්‍රී ලංකාවට ඔරොත්තු නොදෙන්නක් බවට තර්ක කරන්නෝද වූහ. අද වන විට ඒවායේ වගේ වගක් නැත.

දකුණු අධිවේගී මාර්ගය විවෘත කිරීමටත් මත්තෙන් ප්‍රථමයෙන්ම ප්‍රයෝජනයට ගත්තේ එවකට මෙයට දොස් නඟමින් විවේචන එල්ල කළ ප්‍රබලයකු වූ රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායකතුමාය. මේ මඟින් හදිසියේ කොළඹට පැමිණීමට අවශ්‍යව, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ විශේෂ අවසරය ලබා ගනිමින් රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායකතුමා පැමිණියේය. අද අධිවේගී මාර්ග සංකල්පය සාමාන්‍යකරණය වී අත්‍යවශ්‍ය අංගයක් බවට පත්ව ඇත.

රටට අතිශය විනාශයක් කළ වාර්ගික යුද්ධය නැවැත්වීමේ ගෞරවය එතුමා වෙනුවෙන් ඓතිහාසික වේ. යුද්ධයේ උච්චතම අවස්ථාවේදී මාවිල්ආරු සොරොව්ව කොටි ත්‍රස්තවාදයෙන් වසා දමා ජනතාවට පීඩා කෙරෙන තුරු සාමයෙන් සාකච්ඡාවෙන් සම්මුතියෙන් ප්‍රශ්නය විසඳා ගැනීමට එතුමා බැලුවේය.

ප්‍රංශයෙන් – නෝර්වේ රටෙන් බ්‍රිතාන්‍යයෙන් විදේශ අමාත්‍යවරුන් මැදිහත්ව කොටි දෙමළ ත්‍රස්තවාදයට වාසි සහගත සාකච්ඡාවකට මෙරටට පැමිණියහ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඒ වන විට ඇඹිලිපිටියේ තම පියා විසින් ආරම්භ කරන ලද චන්ද්‍රිකා වැව ජනපද ව්‍යාපාරයේ විශේෂ

වැඩසටහනක නිරතව සිටියේය. එම චන්ද්‍රිකා වැව් තාවුල්ලේ කුඹුක්ගස් හෙවණට කැඳවූ විදේශීය නියෝජිතයන් සමඟ සාකච්ඡාවක් ඇරඹුණි.

චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ ප්‍රභාකරන් සමඟ දුරකතන සාකච්ඡා පහසුකම් සම්බන්ධතාව ඇති කරමින් සාම ගිවිසුමක් සඳහා සාකච්ඡා ආරම්භ විය. ප්‍රභාකරන් ඉල්ලා සිටියේ මුල්ම සටන් විරාම පැය 24 ලබා දෙන ලෙසයි. ගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පැවසුවේ මුල්ම සටන් විරාමයේ පැය 24 තමන්ට ලබා දෙන ලෙසයි. ඊට පසු පැය 72 ඉක්ම වූ සටන් විරාමයකට එකඟතාව ප්‍රකාශ කෙරුණි. ජාත්‍යන්තර ආශිර්වාදය ලැබූ ප්‍රභාකරන්ගේ සටන් විරාම උපක්‍රමය එයින් බිඳ වැටුණි. විදේශ සටන් විරාම දූතයන්ගේ මතය වූයේ ප්‍රභාකරන් මුහුදින් අහසින් හා ගොඩබිමෙන් සේනා බලයෙන් මෙන්ම අවි බලයෙන් ද අතිශයින්ම බලවත් බවයි.

ප්‍රභාකරන් කීවේ මුලතිව් කැලය ඔහුගේ ආරක්ෂිත බළකොටුව බවයි. මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රකාශය වූයේ ‘ඔබට මුලතිව් කැලය ජය බිමක් නම් මට ඊටත් වඩා සංකීර්ණ යාල කැලය හොඳින් හුරු පුරුදු බව’ යි. සාමය සඳහා යැයි වූ ව්‍යාජ සාකච්ඡාවන් බිඳ වැටුණි. සාමය සඳහා වූ ආයුධ සන්නද්ධ අරගලය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේම නිර්වචනය පරිදි ‘මානුෂික මෙහෙයුම’ක්ම විය.

ගිනිගත් මාවිල්ආරුවේ සිසිල සඳහා දියවර ලබා දීම මෙන්ම ‘මුළු දිවයිනටම සාමයේ සිසිලස ලබා දීමේ’ ක්‍රියාන්විතය ඇරඹුණි. ‘මිනිස් පලිහක්’ වශයෙන් ලක්ෂ තුන ඉක්ම වූ දෙමළ ජනතාවක් යොදාගෙන ත්‍රස්තවාදී නායක ප්‍රභාකරන් ඇරඹූ සටනින් ‘සිංහලයා පමණක්’ බේරාගැනීමේ මෙහෙයුමක් නොව සිංහල, දෙමළ, මුස්ලිම් හා බර්ගර් යන සමස්ත ශ්‍රී ලංකා වර්ගයාගේම විමුක්තිය සැලසූවකි.

සාමාන්‍ය ජනතාවගේ ජීවිත හානිය වළකාලමින් මිනිස් පළිහක් කරගත් සාමාන්‍ය දෙමළ ජනතාව සමඟ සියල්ලන්ගේම විමුක්තිය එතුමාගේ ‘මානුෂික මෙහෙයුමෙන් ළඟා විය. එතුමා යුද්ධ නොකළේය. එතුමා කළේ සාමය සඳහා වූ මෙහෙයුමකි. මෙහිදී යුද බිමේ අතිශය තීරණාත්මක අත්දැකීම් සම්භාරයක් ලබා සිටි තම සහෝදර ගෝඨාභය රාජපක්ෂයන්ගේ ක්‍රියාශීලි බුද්ධිමත් සහයෝගයද අතිවිශිෂ්ට විය. මෙහිදී ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදා හා පොලිසියද ඒකාබද්ධව එකට එක්කොට සාමූහික ප්‍රයත්නයක් ලෙස මෙහෙයවීම අතිශයින් වැදගත් විය.

මහින්ද රාජපක්ෂ සාර්ථක රාෂ්ට්‍රපති පාලකයකු නොව සුබසාධක රාජ්‍ය පාලනයක නියම මෙහෙයුම්කරුවෙකි. දේවානම්පියතිස්ස රජු හැඳින් වූ මිහිඳු මා හිමියන් දේශනා කර වදාළ පරිදිම මහින්ද රාජපක්ෂ පාලනයේදී රටේ භාරකරුවා විය.

එතුමා තනතුරු ලෝබයෙන් ඒවා බදාගත් කෙනකු නොවේ. එතුමාගේ හෘද සාක්ෂියට එකඟව තීරණ ගැනීමට සිදු වූ ප්‍රථම අවස්ථාවේම කිසිදු පැකිළීමක් නොමැතිව සියලු බලතල වරප්‍රසාද, තාන්න, මාන්න සියල්ල අතහැර දැමීම සඳහා පාරමිතා පිරූවෙකි.

අමරසිංහ කුඩගල්ආර

මේ අතර චීන තානාපති Qi Zhenhong මහතාද ඊයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවී එතුමාගේ උපන්දිනයට සුබ පතා ඇත.

More articles

Latest article