30 C
Colombo
බදාදා, අප්‍රේල් 17, 2024

මම ආයෙත් තාත්තා ළඟට ආවා කියලා මට දැනුණා – අමාත්‍ය හරීන් ප්‍රනාන්දු

Must read

රට ගොඩනඟන්න සමහරුන් ලී ක්වාන් යූ, මහතීර් මොහමඩ් සහ නෙල්සන් මැන්ඩෙලා සෙවුවත් එම අභියෝගය ජය ගැනීමට අවශ්‍ය රනිල් වික්‍රමසිංහ කෙනෙක් පමණක් බව සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.

එක්සත් ජාතික පක්ෂ 76 වැනි සංවත්සර සම්මේලනය අමතමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී එජාප සංවත්සරය පැවැත්විණි. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ පක්ෂ විපක්ෂ මැති ඇමැතිවරු ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

එහිදී අමාත්‍ය ප්‍රනාන්දු මහතා මෙසේද කීවේය.

මේ වේදිකාවට එන විට මට අබමල් රේණුවකවත් අමුත්තක් දැනුනේ නැහැ. මා නැවත තාත්තා ළඟට පැමිණි බව මට තේරුණා. එජාපය මගේ මහ ගෙදරයි. මා ආපහු යන්නේ නෑ. ආවේ ඉන්නමයි. එක්සත් ජාතික පක්ෂය ආරම්භ වුණේ ලංකාවේ විශාල අභියෝගයක් පැවැති සමයකයි.

මා සැමවිටම දේශපාලනය කළේ අභියෝග සමඟයි. අභියෝගය බාර ගත් නායකයාගේ පිටුපස සිට ගැනීමට මට අවශ්‍ය වුණා. ජනාධිපතිතුමා ආරම්භ කළේ පාර්ලිමේන්තුවේ තනි මිනිසකු ලෙසයි. අවසානයේදී 134 දෙනකු එකතු කර ගත්තා. දේශපාලනයේදී ආසයි බයයි වෙන්න බැහැ. දේශපාලනයෙන් රනිල් වික්‍රමසිංහ මහතාගේ නි‍ෙවසත් නැති වූ විට තවත් නැති වන්නට දෙයක් නැහැ.

වැරදි තීන්දු නිසා නිධානයක් උඩ හිඟා කන රටක් බවට පත්ව තිබෙනවා. 2048 වන විට ණය නැති රටක් බවට පත් කිරීමේ ගමන අද අප ආරම්භ කරනවා. අපේ තේමාව එක්ව රට ගොඩනඟමු යන්නයි. අපේ ස්වකැමැත්තෙන් ආවේ එම අභියෝගයේදී එතුමා තනි කරන්න බැරි නිසායි. සමහරුන් නෙල්සන් මැන්ඩෙලා, මහතීර් මොහමඩ්ලා, ලී ක්වාන් යූලා හෙවුවා. අපට දැන් අවශ්‍ය වී ඇත්තේ රනිල් වික්‍රමසිංහ කෙනෙක් පමණයි. ජනාධිපතිවරයා බාර ගත් මේ අභියෝගය පහසු එකක් නොවේ. මේ වගේ අභියෝග තීන්දු ගන්නට කොන්ද අවශ්‍යයි. රට ස්ථාවර කරන්න නොදෙන අයට එරෙහිව අප හෙට අනිද්දාම දෙවන අරගලය ආරම්භ කරනවා. මේ රට හරි පාරට ගැනීම ජනාධිපතිට බාරයි. එය රනිල් වික්‍රමසිංහගේ ගමන නෙවෙයි. එය රටේ ගමනයි.

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා, වසර 28කට පසු අපේම ජනාධිපතිවරයකු සමඟ එක්සත් ජාතික පක්ෂ සංවත්සරය සැමරීම පිළිබඳ ආඩම්බරයට පත් වෙනවා. ඉතිහාසයේ සිය පක්ෂයට නායකත්වය දුන් සියලු නායකයන් මෙහිදී සිහි කරනවා. පක්ෂය වෙනුවෙන් ජීවිත කැප කළ සියලු පාක්ෂිකයන් මෙහිදී සිහිපත් කරනවා. එමෙන්ම පක්ෂය වැටී තිබූ අවස්ථාවේ පක්ෂය අතහැර නොගිය අපේ පාක්ෂිකයන්ට ස්තුතිය පළ කරනවා. එජාපය කිසිවිටෙක ජාතිවාදයට හෝ ආගම්වාදයට නතු වුණේ නැහැ. අප කිසිවිටෙක අන්තවාදයට හිස නැමුවේ නැහැ. පක්ෂ පාට ජාති ආගම් භේදයකින් තොරව සියලු දෙනාට එක සෙවණක හිට ගැනීමට අවස්ථාවක් හදන බව පක්ෂය ඒ කරන අවස්ථාවේදී ඩී.එස් සේනානායක මැතිතුමා පැවසුවා. රනිල් වික්‍රමසිංහ මහතාද දිවුරුම් දෙන අවස්ථාවේදී පැවැසූවේ ‘තමාට ජනපති කොඩියක්’ අවශ්‍ය නැති බවත් ජාතික කොඩිය සෙවණේ සියලු දෙනා සිටිය යුතු බවයි.

ඈත් වූ පාක්ෂිකයන්ට මෙන්ම මන්ත්‍රීවරුන්ට යළිත් අප සමඟ එකතුවන්නැයි මා විවෘත ආරාධනයක් කරනවා. රට ගොඩනඟන්නට හැකියාව ලැබෙන්නේ එසේ කළ හොත් පමණයි.

දේශපාලන අරමුණු පසෙක තබා රට වෙනුවෙන් වැඩ කළ යුතු සමයක් එළඹ තිබෙනවා. අරගලයේ අරමුණු ඉටු කිරීමට නම් අප සියලු දෙනා එකතු විය යුතුයි.

එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා- නිදහස් සටන ජය ගත්තෙත් එකමුතුකම නිසයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හැම විටම ප්‍රකාශ කරන්නේ එකමුතුකමින් සියල්ල ජය ගත හැකි බවයි. අරගලයෙන් මතු වුණු හොඳ දේවල් ජනපති නිතර සිහි කරනවා. නමුත් අරගලයට පසුව නීති විරෝධී තැනකට ගමන් කළා. එක්සත් ජාතික පාක්ෂිකයන් සියලු දෙනා අලුත් ගමනකට සැරසිය යුතුයි. ගමේ නගරයේ කිසිවකුත් භේද කරන්න එපා. සමඟිය ඉතා වැදගත්. එකමුතුකම තිබුණොත් ආසියාවේ මෙන්ම ලෝකයේ ශ්‍රී ලංකාව ඉහළ තැනකට ඔසවා තබන්න පුළුවන්.

එක්සත් ජාතික පක්ෂ උපනායක අකිල විරාජ් කාරියවසම් මහතා- එක්සත් ජාතික පක්ෂය හැමවිටම අතීතයේ සිට අර්බුදවලට සාර්ථකව මුහුණ දීමට සමත් වුණා. නිදහසින් පසු මෙරට ආර්ථිකය දියුණු කළේ එක්සත් ජාතික පක්ෂයයි. 1977 වසරේදී පැය විසිහතරෙන් පෝලිම් දුරු කරන්න එක්සත් ජාතික පක්ෂය සමත් වුණා. එක්සත් ජාතික පක්ෂය බලයට පත් වූ හැමවිටම ජීවන වියදම අඩු කරන්න කටයුතු කළා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රතිවාදීන් ද දිනා ගනිමින් සියලු දෙනා එකතුකර ගමනක් යෑම ආරම්භ කර තිබෙනවා.

එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා- ඉංග්‍රීසින්ගෙන් රට මුදා ගත හැකි එකම නායකත්වය ඩී.එස් සේනානායක මහතා බව සියලුම රට වැසියන් එදා පිළිගත්තා. සියලු දෙනාගේ සහයෝගය ඇතිව රට මුදා ගැනීමට ඩී.එස් සේනානායක මහතාට හැකියාව ලැබුණා. එක ආසනයකින් පාර්ලිමේන්තුවට ගොස් පාර්ලිමේන්තු බහුතරයකගේ ආශිර්වාද මැද අග්‍රාමාත්‍ය ධුරය සහ ජනාධිපති ධුරයට පත් වූ නිහඬ අරගලකරුවා වන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි. වසර ගණනාවක් රට පාලනය කළත් රනිල් වික්‍රමසිංහ මහතාට සුක්කානම ලැබුණේ නැහැ. ආර්ථිකය ගොඩනඟන්න දැන් ඔහු අතට සුක්කානම ලැබී තිබෙනවා.

එදා ඩී. එස්. සේනානායක මහතාට රට ගොඩනඟන්න ශක්තිය දුන්නා සේ අද රනිල් වික්‍රමසිංහ මහතාටත් සියලු දෙනා එකතු වී රට ගොඩනඟන්නට ශක්තිය දෙමු.

More articles

Latest article