28.8 C
Colombo
ඉරිදා, මැයි 26, 2024

දිස්ත්‍රික් නායකකම නොදුන් නිසා ඉවත් වුණා – හේෂා විතානගේ

Must read

සංවිධායක ධුරයෙන් ඉවත් වූ බවට පක්ෂයේ මහ ලේකම්වරයාට කළ ලිඛිත දැනුම් දීම ලැබී නැතැයි පවසන්නේ ලැජ්ජාවට විය හැකි බව සමඟි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා ‘දිනමිණ‘ට ඊයේ (26) පැවසීය.

දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ගන්නා මන්ත්‍රීවරුන්ට දිස්ත්‍රික් නායක ධුර දෙන බවට පක්ෂය තීරණය කර තිබූ නමුත් රත්නපුර දිස්ත්‍රික්කයේ වැඩිම මනාපලාභියා වශයෙන් තමන්ට මේ වනතුරුත් දිස්ත්‍රික් නායක ධුරය නොලැබීම හේතුවෙන් අදාළ තනතුරින් ඉවත් වූ බවත්, එසේ වුවද පක්ෂයේ නායකත්වය සමඟ සිටිමින් රටේ ජනතාව වෙනුවෙන් දේශපාලනය කරන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය. රටේ ජනතාව ජයග්‍රහණය කරවන වැඩසටහන පැත්තකින් තබා පරාජයට පත්වූ නායකයන්ට නැවත පවුඩර් ගා ඉදිරියට ගන්නා ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ නම් සංවිධායක තනතුරු දරමින් සිට වැඩක් නැති බවද හෙතෙම කීවේය.

කෙසේ වෙතත් සමඟි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා දිනමිණ සමඟ පැවසුවේ අදාළ ඉවත්වීම සම්බන්ධයෙන් මේ වනතුරුත් තමාට ලිඛිතව, නිල වශයෙන් දැනුම් දීමක් ලැබී නැති බවයි.

‘‘හේෂා මන්ත්‍රීවරයා සංවිධායක ධුරයෙන් ඉවත් වුණා කියල මට නම් දැනුම් දීලා නැහැ. අපිට කතා කළෙත් නැහැ, ඔවුන්ට ඕන විදියට කටයුතු කර ගෙන යාවි. අපට ගැටලුවක් නැහැ‘‘ යනුවෙන්ද මහ ලේකම්වරයා සඳහන් කළේය. මේ අතර තමන්ද ආසන සංවිධායක ධුරයෙන් ඉවත් වන බවට පළ කර ඇති මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරන බව සමඟි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා ‘දිනමිණ‘ට පැවසීය.

පවතින ආණ්ඩු විවේචනය කරමින් රාජ්‍ය බලය ගෙන වැඩක් නැති බවත්, ප්‍රතිපත්තිමය වශයෙන් වෙනසක් කරන බවට ජනතාව තුළ විශ්වාසය ඇති කරන වැඩපිළිවෙළක් ගොඩ නැංවිය යුතු බවත් සඳහන් කළ චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා ඒ බව පක්ෂයේ නායකත්වයට දැනුම් දුන් පසු නායකයාද එය පිළිගත් බව වැඩි දුරටත් කීවේය.

More articles

Latest article