33 C
Colombo
බදාදා, මැයි 31, 2023

නිදහස් සමරුවට සමගාමිව 100 වැනි නිදහස තෙක් නොවෙනස් නව ජාතික ප්‍රතිපත්තියක්

Must read

ඉදිරි වසර 25 සඳහා නොවෙනස් වන, නව ප්‍රතිසංස්කරණවාදි ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම 75 වන නිදහසට සමගාමීව ආරම්භ කරන බව ආරක්ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළේය.

“නමෝ නමෝ මාතා – සියවසකට පියවරක්“ තේමාව යටතේ 75 වන ජාතික නිදහස් උලෙළ අභිමානවත් අයුරින් සැමරීමට රජය තීරණය කර ඇති බවද ඇමතිවරයා පැවසීය. 2048 වසරේදී 100 වන නිදහස් දිනය දක්වා නොවෙනස් රාජ්‍ය ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ඉදිරි වසර 25 සඳහා රජයේ නව ප්‍රතිසංස්කරණවාදී ගමන් මඟ ප්‍රකාශයට පත් කිරීමද 75 වන නිදහස් දිනයේදී සිදු කිරීමට නියමිත බව රාජ්‍ය ඇමතිවරයා පැවසීය.

75 වන ජාතික නිදහස් සැමරුම් ප්‍රධාන උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පෙබරවාරි 4 දා පෙ.ව. 8.30ට ගාලුමුවදොර පිටියේදී ආරම්භ වන බවද ආරක්ෂක රාජ්‍ය ඇමතිවරයා පැවසීය.

නිදහස් චතුරශ්‍රයේ පිහිටි මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මැතිඳුන්ගේ පිළිරුවට මල්දම් පලඳවා පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේ පිහිටි ජාතික විරුවන්ගේ ප්‍රතිමා සඳහා පුෂ්පෝපහාර දැක්වීමෙන් පසු උත්සව කටයුතු ආරම්භ කිරීමට නියමිත වේ.

75 වන ජාතික නිදහස් උත්සවයට සමගාමිව සංස්කෘතිකාංග සහ ආගමික වැඩසටහන් රැසක් දීපව්‍යාප්තව සංවිධානය කර ඇති අතර, බෞද්ධ ආගමික වතාවත් පෙබරවාරි මස 02 දින සවස ශ්‍රී දළදා මන්දිරයදී සිදු කෙරෙන අතර, එදිනම රාත්‍රියේ පරිත්‍රාණ ධර්ම දේශනය වික්ටෝරියා වේල්ල ඉස්මත්තේදී රාත්‍රී 9.00ට ආරම්භ කෙරේ. පසුදා උදෑසන හීල් දානමය පින්කමක් ද සිදු කිරීමට නියමිත බවද රාජ්‍ය ඇමතිවරයා පැවසීය.

75 වන නිදහස් දින සැමරුම් උලෙළ පිළිබඳ මාධ්‍ය දැනුම්වත් කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (12) පැවති මාධ්‍ය හමුවට එක් වෙමින් රාජ්‍ය ඇමැතිවරයා මේ බව පැවසීය.සියලු ජාති සහ ආගම්වලට අයත් සෑම දෙනකුම රටේ උන්නතිය වෙනුවෙන් එක් කර ගැනීම මෙවර නිදහස් දින උළෙලේ අපේක්ෂාව බවද රාජ්‍ය ඇමැතිවරයා පැවසීය.

නිදහස් දින පෙළපාළිය මේජර් ජෙනරාල් දීපාල් පුස්වැල්ලගේ ප්‍රධානත්වයෙන් යුතුව පැවැත්වෙන අතර, මෙවර පෙළපාළිය පැය එක හමාරකට සීමා කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී ඇති බවද හෙතෙම පැවසීය. එමෙන්ම නිදහස් දිනයේදී ජනාධිපතිවරයා විසින් සාම්ප්‍රදායිකව සිදු කරනු ලබන ජාතිය ඇමතීම එදින පෙරවරුවේ සිදු නොකර, සවස සිදු කිරීමට ජනාධිපතිවරයා තීරණය කැර ඇති බවද ඇමැතිවරයා කීය. යුද, ගුවන්, සහ නාවික හමුදා සහ පොලිසිය නියෝජනය කරමින් ත්‍රිවිධ හමුදා සෙබළුන් 6,012ක් මෙවර නිදහස් දින උලෙළට සහභාගි වන අතර, සන්නද්ධ රථ 320ක් ආචාර පෙළපාළිය සඳහා සහභාගි වේ.

එමෙන්ම මෙවර 75 වන නිදහස් දිනයේදී ජාතික ගීය සිංහල හා දෙමළ බසින් ගායනා කිරීමට තීරණය කර ඇති අතර, ජාතීන් හා ආගම් වශයෙන් සහජීවනය ගොඩනැඟීම අපේක්ෂා කරන බවද ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය. ජාතීන්, ආගම් වශයෙන් දිගින් දිගටම බෙදී වෙන්වීම හේතුවෙන් අත්කරගත් කිසිවක් නොමැති අතර, තවදුරටත් එසේ වෙන් නොවිය යුතු බවද හෙතෙම පැවසීය.

මෙම අවස්ථාවට සහභාගී වූ අභ්‍යන්තර කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා සඳහන් කළේ නිදහස් දින උත්සවයට සමගාමීව ආගමික වතාවත් පෙබරවාරි 2 දින ශ්‍රී දළදා මාළිගාවේදී ආරම්භ කෙරෙන බවයි.පෙබරවාරි 3 දින රාත්‍රියේදි දිවයිනේ සියලුම ආගමික ස්ථානවල පොල් තෙල් පහන් හෝ ඉටිපහන් 75ක් දල්වමින් ආශිර්වාද කරන අතර, 75 වන නිදහස් සැමරුම පෙබරවාරි 4 වනදාට පමණක් සීමා නොවන බවයි. 75 වන නිදහස් සැමරුම වෙනුවෙන් වසර පුරා වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක අතර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ජනතාවට වන්දනාමාන කිරීම සඳහා මාර්තු 4 වැනිදා දළදා වහන්සේ ප්‍රදර්ශනය කිරීමද සිදු කරන බව පැවසීය. ලෝකවාසි සියලු ජනතාවට දළදා වහන්සේ සියැසින් දැක ගැනීමේ මහඟු අවස්ථාව මෙමඟින් සැලසෙන බවද රාජ්‍ය ඇමතිවරයා කීය. 75 වන නිදහස් සැමරුම වෙනුවෙන් රාජ්‍ය නායකයින් 400කට අධික පිරිසකට ආරාධනා සිදු කරන අතර, නිදහස් සැමරුම අභිමානවත් අයුරින් සිදු කිරීමට අවශ්‍ය සියලු කටයුතු සිදු කරන බවද හෙතෙම පැවසීය. නිදහස් සැමරුම වෙනුවෙන් අඩු ආදායම්ලාභී නිවාස නොමැති පවුල් 1996ක් සඳහා නිවාස ඉදි කර දීමේ වැඩසටහනක් සහ අඩු ආදායම්ලාභී පවුල් මිලියන දෙකක් වෙනුවෙන් මසකට සහල් කිලෝ දහය බැගින් ලබා දීමේ වැඩසහටනක්ද ක්‍රියාත්මක කරන බව රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා පැවසීය.

75 වන නිදහස් දින උත්සවයේ අසිරිය ජනතාවට දැක බලා ගැනීමේ පහසුකම් සලසමින් කොල්ලුපිටිය සහ ගාලුමුවදොර මංසන්ධිය දක්වා වැඩපිළිවෙළක් සකස් කර ඇති බවද රාජ්‍ය ඇමතිවරයා කීය. 3,200කට ආසන්න ප්‍රමාණයක් උත්සව සඳහා ආරාධනා ලබා තිබේ.

මෙවර නිදහස් දින සැමරුම වෙනුවෙන් ඇස්තමේන්තුගත වියදම ලෙස මිලියන 575ක් වැනි මුදලක් වැය වන බවට ඉදිරිපත් වුවද එය මිලියන 200ක් වැනි මුදලක් දක්වා අඩු කර ගැනීමට හැකි වූ බවද රාජ්‍ය ඇමතිවරයා පැවසීය. එම වියදම් වෙනුවෙන්ද පෞද්ගලික අංශය හා විවිධ දානපතීන්ද නන් අයුරින් උදවු කරන අතර, තවත් ආධාර උපකාර ලැබෙන්නේ නම් එම පිරිවැය තවත් අඩු කර ගත හැකි බවද රාජ්‍ය ඇමැතිවරයා කීය.

මෙහිදි අදහස් දැක්වූ උසස් අධ්‍යාපන අමාත්‍ය සුරේන් රාඝවන් මහතා සඳහන් කළේ එළඹෙන 4 වන දා සිට ආරම්භ වන නව ප්‍රතිසංස්කරණවාදී වැඩපිළිවෙළ ගොඩනැඟීම සඳහා නව කොමිෂන් සභා 2ක්, නව පනත් 9ක්, විශ්වවිද්‍යාල 3ක් සහ තවත් ආයතන 4ක් ආරම්භ කිරීමට රජය කටයුතු කරන බවයි.

රජය සහ රාජ්‍ය ප්‍රතිපත්ති විශ්වවිද්‍යාලය, කෘෂි පර්යේෂණ විශ්වවිද්‍යාලය, දේශගුණික විපර්යාස පිළිබඳ විශ්වවිද්‍යාලය සහ ක්‍රීඩා විශ්වවිද්‍යාලය නමින් විශ්වවිද්‍යාල හතරක් ස්ථාපිත කිරීමටද නියමිත වේ.

කාන්තා පනත පිළිබඳ ජාතික කොමිෂන් සභාව, ස්ත්‍රි පුරුෂ සමානාත්මතා පනත, කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත, ළමා ආරක්ෂණ පනත, දේශගුණික විපර්යාස පිළිබඳ පනත, සමාජ සාධාරණත්වය පිළිබඳ කොමිෂන් සභා පනත, වනාන්තර ප්‍රතිරෝපණ සහ වෘක්ෂ ආවරණ පනත නව පනත් වේ.මහවැලි ගඟ, සිංහරාජය, ශ්‍රීපාද අඩවිය (ජන ශූන්‍ය ශිඛරය), හෝර්ටන් තැන්න, නකල්ස්, ආදම්ගේ පාලම ඇතුළු ස්වාභාවික සම්පත්වල සුරක්ෂිතතාව වෙනුවෙන් ජීවමාන අස්ථිත්ව පනත හඳුන්වා දීමට නියමිතව තිබේ. සාගර සම්පත් ගවේෂණය සහ කළමනාකරණය සඳහා නව නීති මෙන්ම මුතුරාජවෙල සංරක්ෂණය වෙනුවෙන් පනතක්ද හඳුන්වා දීමට නියමිතය.

නාගරික වනාන්තර 75ක ව්‍යාපෘතියක් හා අඩු ආදායම්ලාභී පවුල් සඳහා කොළඹින් නිවාස 1996ක ව්‍යාපෘතියක්ද මීට ඇතුළත් අතර, ජාතික තරුණ වේදිකාව පිළිබඳ ව්‍යාපෘති සහ වැඩසටහන් රැසක් ක්‍රියාවට නැංවීමට නියමිතය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ තරුණ හා තිරසර සංවර්ධන අධ්‍යක්ෂ රන්දුල අබේවීර මහතා සඳහන් කළේ වත්මන් තරුණ පරපුර දේශපාලන පද්ධතියටම දෝෂාරෝපණය කරන බවයි. නිදහසින් වසර සියයක් ගත වන විටත් දේශපාලකයන්ට හා පද්ධතියට දොස් නැඟීමට සිදු වනවා නම් යම් අර්බුදයක් පවතින බව තේරුම් ගත යුතු බවයි. එබැවින් වත්මන් තරුණ පරපුර ලෙස සිටින පිරිස 2048 වන විට වැඩිහිටි පිරිසක් බවත් අනාගතය වෙනුවෙන් වත්මන් තරුණ පරපුර නිවැරදි ලෙස යෙදවීමට කටයුතු කළ යුතු බවත් හෙතෙම පැවසීය. ජාතික තරුණ වේදිකාව යටතේ ක්ෂේත්‍ර 15ක් ඔස්සේ අවධානය යොමු කර කටයුතු කරන අතර, අවුරුදු 16-40 දක්වා කණ්ඩායම්වලට අයදුම්පත් යොමු කළ හැකි බවද හෙතෙම පැවසීය.

මේ මාධ්‍ය සාකච්ඡාව සඳහා ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධනුෂ්ක රාමනායක, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයා ඇතුළු පිරිසක් සහභාගි වූහ.

More articles

Latest article