32 C
Colombo
සිකුරාදා, අප්‍රේල් 19, 2024

ඉදිරි මාස 6ට ජීවිතාරක්ෂක ඖෂධ 14ම තියෙනවා – අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල

Must read

ඉදිරි මාස හයට ප්‍රමාණවත් ජීවිතාරක්ෂක ඖෂධ 14ම රට තුළ පවතින බව සෞඛ්‍ය ඇමැති ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසුවේය.

රට තුළ පවතින ඇතැම් ඖෂධයන්හි හිඟය ඉදිරි මාසය තුළදී නිරාකරණය කර ගැනීමට හැකි බවත් ඖෂධ ගැටලුව සඳහා දිගුකාලීන, කෙටිකාලීන, මධ්‍යකාලීන විසඳුම් රැසක් කෙරෙහි අවධානය යොමුව ඇති බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති හෝල්ගර් සීබර්ට් (Holger Seubert) මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේදී අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා හමු වූ අතර එහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ඊයේ (25) පැවසීය. සියයට 20ක් පමණ වන මෙරට ඖෂධ නිෂ්පාදනය ඉදිරි වසර කිහිපය තුළදී සියයට 50 දක්වා ඉහළ නංවන බවත් රටට අවශ්‍ය ඖෂධ රට තුළම නිෂ්පාදනය කිරීමට අවශ්‍ය සහාය ආයෝජකයන්, නිෂ්පාදකයන්, කර්මාන්තකරුවන් ඇතුළු සියල්ලන් වෙත ලබාදෙන බවත් ඇමැතිවරයා පැවසුවේය.

ඖෂධ නිෂ්පාදන ව්‍යාපෘතිවලට මේ වන විට ගිවිසුම් අත්සන් කර ඔවුන්ගේ නිෂ්පාදන පසු මිලදී ගැනීම සඳහා වන ගිවිසුම් අත්සන් තබා ඇතැයිද ඒ සඳහා උපකරණ ගෙන්වීමේදී බදු සහනවලින් නිදහස් කිරීම ඇතුළු සහන රැසක් ලබාදෙන්නේ යැයිද ඇමැතිවරයා කීය. නව ව්‍යාපෘතිය සඳහා ආයෝජකයන් 12ක් කර්මාන්තශාලා වෙනුවෙන් ආයෝජනය කර ඇතැයිද ඇමැතිවරයා පැවසුවේය. රට තුළ වැඩි වශයෙන් සේලයින් නිපදවීම සිදු කරන බවත් ඉදිරියේදී ඖෂධ හා උපකරණ රැසක් නිෂ්පාදනය කෙරෙන බවත් ඇමැතිවරයා පැවසීය. මෙරටට ඖෂධ සපයන රටවල් සමඟ අවබෝධතා ගිවිසුම්වලට එළඹීමට බලාපොරොත්තු වන බවත් ඒ සඳහා ඖෂධ සැපයීමේ ප්‍රමුඛ රටක් වන ජර්මනියද ඇතුළත් වන බවත් ඇමැතිවරයා පැවසුවේය.

ඖෂධ සැපයීමේ ක්‍රියාවලිය සඳහා යුරෝපානු රටවල් 6ක් පමණද ඉන්දියාව, ජපානය, ඉන්දුනීසියාව රටවල් එක්ව ඇතැයිද ඇමැතිවරයා පැවසුවේය.

ගාල්ල මහමෝදර ඉදි කෙරෙන මාතෘ හා නව ජන්ම රෝහලේ ඉදි කිරීම් කටයුතු පිළිබඳ ජර්මානු තානාපතිවරයා හා සෞඛ්‍ය අමාත්‍යවරයා මෙන්ම අමාත්‍යාංශ නිලධාරීන් අතර සාකච්ඡාවක් මෙහිදී පැවැත්වුණු අතර එහි වැඩ කටයුතු කඩිනමින් අවසන් කිරීමට අවශ්‍ය කටයුතු සලසන ලෙස ජර්මානු තානාපතිවරයා මෙහිදී ඉල්ලා සිටියේය. දැනටමත් ඒ පිළිබඳ ජනාධිපතිවරයාගේ අවධානය යොමු කර ඇති බවත් කැබිනට් මණ්ඩලයේදී මේ පිළිබඳ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා කීය.මේ අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී (මෙහෙයුම්) ඕලෆ් මාකෝ (Olaf Malchow) යන මහත්වරුද එක්ව සිටියහ.

More articles

Latest article