27.3 C
Colombo
බදාදා, මැයි 22, 2024

පළාත් සභා යාවත්කාලීන කිරීම අවශ්‍ය නෑ, නව ව්‍යවස්ථාවක් නම් ඕනෑ – මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

Must read

මියගිය පළාත් සභා යාවත්කාලීන කිරීම වෙනුවට රටට ගැළපෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කරන්නැයි ’56 දරුවෝ’ සංවිධානයේ අනුශාසක මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පැවසූහ.

උන්වහන්සේ වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද කීහ.

“රටට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යයි කියා දීර්ඝ කාලයක සිට ජාතික සංවිධාන විසින් ඉල්ලීම් කරනු ලබනවා. 1972 ජනරජ ව්‍යවස්ථාවෙන් පසු විධායක ජනාධිපති ක්‍රමය සහිත යෝජනාව එක්ක පැමිණි තවත් බොහෝ යෝජනා සහිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හිටපු ජනපති ජේ.ආර්. ඉදිරිපත් කර තිබුණා. එහි තිබූ අඩුපාඩුකම් හා දුර්වලතා සමඟ රටට ඉදිරියට යෑමට නොහැකි බවට වන තීන්දුවට එන්න සිදු වුණා. ඒ නිසා ජනතාව, ජාතික සංවිධාන, විද්වතුන් යෝජනා කර තිබුණා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්. දැන් ඒකට හොඳම වෙලාව. ජනාධිපතිතුමාගේම වචනවලින් කියනවා නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීම සඳහා එතුමා සූදානම්. ඒ නිසා ප්‍රජා යාන්ත්‍රණය යාවත්කාලීන කිරීම, රාජ්‍ය යාන්ත්‍රණය විධිමත් කිරීම, රාජ්‍ය යාන්ත්‍රණයට ආවේණික දුර්වලතා, වැටුප් විෂමතා වැනි කාරණා සියල්ල සලකා බලා මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සමඟ රට වාර්ගික විරසකයන්ගෙන් පෙළෙන, වර්ගවාදීන්ගෙන් පෙළෙන වෙනත් අර්බුදයන්ගෙන් පෙළෙන සැබෑ මහජන නියෝජනයක් නොමැති තැනක තියන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් විදියට දැන් තියෙන ව්‍යවස්ථාව හඳුනාගෙන තිබෙනවා.

“ඒ අනුව මේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට පාර කැපුණු වෙලාවක්. මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරද්දි නිරායාසයෙන්ම ඡන්ද ක්‍රමය වෙනස් වීමට නියමිතයි. ඒ නිසා අප දන්නවා දැන් යටගිය, පැරණි හා මියගිය පළාත් සභා යෝජනා ගෙනැවිත් පළාත් සභා පිහිටුවීම හෝ පළාත් සභා යාවත්කාලීන කිරීම වෙනුවට කළ යුතු වන්නේ රට ඉදිරියට ගෙනයන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යටතේ නව පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමයක්, නව පළාත් පාලන මැතිවරණ ක්‍රමයක් සමඟ සැබෑ මහජන නියෝජිත ක්‍රමයක් ගේන තැනකට පත් කර ගැනීමයි. රටට හිතවත්, ඒ වගේම අනාගතයට යහපත් දේශප්‍රේමයේ වර්ගවාදී විරසකයන්ගෙන් තොර රටක් බිහි කිරීම උදෙසා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇති කළ යුතුයි කියන අදහසට එදත් අප එකඟ වුණා. අදත් අපි එකඟ වෙනවා. ඒ නිසා මෙයට අප සහයෝගය පළ කරනවා.

මෙහිදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් උන්වහන්සේ මෙසේද කීහ.

ජනාධිපති ප්‍රකාශ කරනවා නව ව්‍යවස්ථාව වර්ෂයක් ඇතුළත ගේනවා කියලා. පොදුජන පෙරමුණේ සභාපති කියනවා ලබන වසරේ මැද භාගය ට පෙර පළාත් සභා මැතිවරණය තියෙනවා කියලා. ඉතින් කොහොමද අලුත් ව්‍යවස්ථාවක් ගෙන්නේ?

ඇත්තටම කිවුවොත් එහෙම සාමූහික ප්‍රකාශයන් කිරීම කාගේ කාගෙත් වගකීමක්. ඒ අනුව බලාගෙන ගියාම දැනට රටට අත්‍යවශ්‍ය වන්නේ පළාත් සභා ගෙනල්ල නැවත පිහිටුවීම නෙවෙයි. අවශ්‍ය වන්නේ රටට හෙට දවස සඳහා වන යහපත් රටක් සකස් කර දීමයි. ආසන්නවම ඉදිරිපත් වී තිබෙන බඩු මිල ඉහළ යෑම, වැටුප් ගැටලුව, රාජ්‍ය යාන්ත්‍රණයේ අවිධිමත්භාවය වගේ දේවල් ආසන්න ගැටලු. ඒවාත් විසඳීම උදෙසා දීර්ඝකාලීනව යාන්ත්‍රණය සකස් කිරීම තමයි අවශ්‍ය වෙන්නේ. ඒ තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙන එන එක.”

More articles

Latest article