28.8 C
Colombo
ඉරිදා, මැයි 26, 2024

අලුතින් බඳවා ගත් ආධුනික ජේලර් හා පුනරුත්ථාපන නිලධාරීන් පිරිසක් විසිර යයි

Must read

බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අලුතින් බඳවා ගන්නා ලද 12 වන ආධුනික II පෙළ ජේලර් හා ආධුනික II පෙළ පුනරුත්ථාපන නිලධාරීන්ගේ විසිරයාමේ නිල පෙරට්ටුව අඟුණකොළපැලැස්ස බන්ධනාගාර ක්‍රීඩාංගනයේදී දී අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

මෙම නිලධාරීන් සඳහා ගිනි අවි පුහුණූව, කැරලි මර්ධනය පිළිබඳ විශේෂ කාර්ය බලකාය විසින් මෙහෙයවන පුහුණුව ලබා දී ඇති අතර ගිනි නිවීමේ විශේෂ පුහුණුව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගිනි නිවීමේ ඒකකය මගින් සිදු කර තිබේ.

මෙම විසිර යෑමෙන් පසු ගනේමුල්ල කොමාන්ඩෝ රෙජිමේන්තුව මගින් මෙහෙයවන විනය ආරක්ෂාව සම්බන්ධ විශේෂ පුහුණුවකට මෙම පිරිස සම්බන්ධ කිරීමට කටයුතු කෙරේ. ආධුනික II පෙළ ජේලර් පිරිමි නිලධාරීන් 65ක්, කාන්තා නිලධාරිනියන් 05 ක් හා II පෙළ පුනරුත්ථාපන නිලධාරින් පිරිමි 12ක් කාන්තා නිලධාරිනියන් 2ක් මාස 4ක පුහුණුවෙන් පසු විසිරයාම සිදුවිය.

අමාත්‍යවරයා මෙහිදී සදහන් කර සිටියේ සාර්ථක පුහුණුවකින් පසු විසිර යන නිලධාරීන් හට සුවිශේෂී වගකීම් සමුදායක් පැවරී ඇති බවයි. බන්ධනාගාර ගත රැඳවියන් ආරක්ෂා කිරීමට කැපවිය යුතු බවත් “සිරකරුවෝද මුනුෂ්‍යයෝය ” යන්න තාප්ප වලට පමණක් සීමා නොවිය යුතු බවත් සිරකරුවන් සැබෑ ලෙසම ආරක්ෂා කිරීමට කැපවිය යුතු බවද ඇමතිවරයා පැවසීය. සියළුම මිනිසුන් අතින් වැරදි සිදුවිය හැකි අතර එම වැරදි නිවැරදි කර ගනිමින් නැවතත් යහපත් පුරවැසියන් ලෙස රැඳවියන් සමාජගත කිරීම සඳහා නීතිගරුක නිලධාරීන් ලෙස කටයුතු කිරීමේ අවශ්‍යතාවය ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මේ සදහා බන්ධනාගාර ප්‍රතිසංස්කරන හා සිරකරුවන් පුනරුත්ථාපනය කිරීමේ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් වී.ආර්.සිල්වා, අධිකරණ අමාත්‍යතුමාගේ පුද්ගලික ලේකම් නීතිඥ ජනක රණතුංග, බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය යන මහත්වරුන් ඇතුළු බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිළධාරීන් පිරිසක් එක්වූහ.

More articles

Latest article