34 C
Colombo
බ්‍රහස්පතින්දා, අප්‍රේල් 25, 2024

මෙරට සංවර්ධන යුගයේ නියමුවා ජේ.ආර් ජයවර්ධන

Must read

(මෙරට ප්‍රථම විධායක ජනාධිපති වූයේ එවකට එජාපයේ නායක ජේ. ආර්. ජයවර්ධන මහතාය. නිදහසින් පසු මෙරට රාජ්‍ය පාලනය ඉදිරියට ගෙන ගිය එතුමා ජන්මලාභය ලබා අදට (17) වසර 116ක් සපිරේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.)

කොළඔ අධිකරණයේ සේවය කළ නීතිඥයන් අතර, ඉතා දක්ෂයකු වූ ජේම්ස් ඇල්ෆ්‍රඩ් ජයවර්ධන මහතා ජීවත්ව සිටියේ කෙටි කාලයකි. වසර 44ක් සපිරෙද්දී ඔහු මියගියේ දරුවන් හයදෙනෙකුගේ පියකු වශයෙනි. දරුවන් හයදෙනාගෙන් පස්දෙනෙකුම පියා මෙන් නීතිඥ වෘත්තියට පිවිසියේ කීර්තිමත් නීතිඥ පවුලක සාමාජිකයන් ලෙසිනි.

මේ දරුවන් සයදෙනා අතරින් දෙවැන්නා වූයේ නීතිඥයකු වශයෙන් සේවය කර පසුව විනිසුරුවයකු වූ ඉයුජින් විල්ප්‍රඩ් ජයවර්ධන හෙවත් ඊ. ඩබ්ලිව්. ජයවර්ධන මහතාය. කළුතරදී උපන් මෙතුමා කොළඹ රාජකීය විද්‍යාලයේ ඉගෙනගෙන පසුව නීතිඥයකු වී විවාහ දිවියට පත්වූයේ එකල අප රටේ විසූ ධනවතෙකු හා දෑහිතකාමියකු වූ කොළඹ සේදවත්තේ වලව්වේ විසූ දොන් පිලිප් විජේවර්ධන මුදලිතුමාගේ දෙටු දියණිය වූ හෙලන් ඇග්නස් විජේවර්ධන මෙනවිය සමඟය. මේ දෙපළට දරුවන් එකළොස්දෙනෙක් විය. එම දරුවන් අතර වැඩිමහල් දරුවා උපන්නේ 1906 සැප්තැම්බර් 17 වැනිදාය. ඔහු නමින් ජුනියස් රිචඩ් ජයවර්ධන විය. නම එසේ වුවත් මුළු ලෝකයක් ඔහු හඳුන්වන්නේ ජේ. ආර්. ජයවර්ධන යන නමිනි.

කොළඹ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය අරඹා ශ්‍රී ලංකා නීති විද්‍යාලයට ඇතුළත්ව නීතිය හදාරා මීට වසර 90කට පෙර 1932 වර්ෂයේදී නීතිඥවරයකු වශයෙන් දිවුරුම් දී නීති වෘත්තියට යොමු වූ ජේ. ආර්. ජයවර්ධන මහතා දේශපාලනයට යොමුවූයේ 1943 වසරේ කැලණිය අසුනට පැවැති අතුරු මැතිවරණයට ඉදිරිපත්වීමත් සමඟය.

නීති විදුහලේ ඉගෙන ගන්නා සමයේ සිටම ජේ. ආර්. අධිරාජ්‍ය විරෝධියකු විය. ඒ බව හොඳින් පසක් වන්නේ ඉංග්‍රීසි අධිරාජ්‍යයට එරෙහිව මහා අහිංසාවාදි සටනක යෙදෙන මහත්මා ගාන්ධිතුමාගේ සේයාරුවක් නීති විද්‍යාලයේ විවෘත කිරීමට ජේ. ආර්. ජයවර්ධන මහතා නීති සිසුවකු වශයෙන් ගත් ඓතිහාසික පියවර නිසාය.

දිනෙන් දින බුද්ධියෙන් දැනුමෙන් මුහුකුරා ගිය තරුණ ජේ. ආර්. සිය ජීවිතය ගත කළේ කිතුදහමට අනුවය. තම මෑණියන්ගේ සොහොයුරු වෝල්ටර් විජේවර්ධන මහතා ජේ. ආර්. ට අර්ථයෙන්, ධර්මයෙන් උපදෙස් දෙන ඥාතියකු විය. මෙතුමා ජේ. ආර්. වූ තම බෑණනුවන්ට උපදෙස් දුන්නේ බුදු දහමත්, සිංහල භාෂාවත් ඉගෙන ගන්නා ලෙසය. ඒ අනුව ජයවර්ධන මහතා තම මාමාගේ උපදෙස් අනුව වජිරාරාමාධිපතිව වැඩ විසූ පැලෑනේ වජිරඤාණ මාහිමියන් හා වජිරාරාමවාසි නාරද මාහිමියන්ගෙන් බුදු දහම උගත්හ. පසුව බුදු දහම වැලඳගත් තරුණ ජේ. ආර්. ජයවර්ධන මහතා ඉන්දියානු නිදහස් සටනේ නායකයා වූ මහත්මා ගාන්ධිතුමාගේ අහිංසාවාදී දර්ශනයෙන් ද සිය ජීවිතය මනා උත්තේජනයක් ලබා ගනිමින් සිය ජාතික ආගමික දේශපාලනික ගමන්මඟ සකසා ගත්තේය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් 1938 වසරේදී ලංකා ජාතික සංගමයේ සාමාජිකත්වය ගත් මෙතුමා පසුව ඩඩ්ලි සේනානායක මහතා සමඟ එම සංගමයේ සමලේකම් පදවිය දැරුවේය.

මෙකල අප රටේ විසූ කීර්තිමත් උගත් දේශපාලනඥයකු වූයේ ශ්‍රීමත් බාරොන් ජයතිලක මහතාය. 1931දී රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සභාපති හා ස්වදේශ කටයුතු ඇමැතිවරයා වූ ජයතිලක මහතා කැලණිය ඡන්ද කොට්ඨාසයේ රාජ්‍ය මන්ත්‍රිවරයා ද විය. 1942දී එතුමා දේශපාලනයෙන් සමුගෙන ඉන්දියාවේ ලංකා මහා කොමසාරිස් පදවිය බාරගෙන ඒ රටට යෑම නිසා එතෙක් එතුමා දැරූ කැලණියේ මන්ත්‍රී පදවිය හිස් විය. මේ සඳහා පැවැති අතුරු මැතිවරණයට තරුණ ජේ. ආර්. ජයවර්ධන මහතා ඉදිරිපත් වූයේ එවකට ලංකාවේ සිටි සුවිශේෂි දේශපාලන නායකයකුට එරෙහිවය. ඔහු නමින් කෝට්ටේ සිංහයා යැයි විරුදාවලිය ලත් රාජ නීතිඥ ඊ. ඩබ්ලිව්. පෙරේරා මහතාය. 1943 වසරේ අප්‍රේල් 17 වැනි දින පැවැති මේ අතුරු මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගෙන රාජ්‍ය මන්ත්‍රණ සභාවේ කැලණිය මන්ත්‍රීවරයා වශයෙන් පත්වූ ජයවර්ධන මහතා දේශපාලනයේ යෙදුණේ ක්‍රියාකාරී මන්ත්‍රීවරයකු වශයෙනි. එතැන් සිට රට පුරාම ඔහු ජනප්‍රිය වන්නට විය. ලංකා ජාතික සංගමයේ මෙහෙයවීමෙන් රටේ අනෙකුත් දේශපාලන සංවිධාන එක්වී 1946 වසරේදී එක්සත් ජාතික පක්ෂය පිහිටුවන ලද අවස්ථාවේදී එම නව පක්ෂයේ සම භාණ්ඩාගාරික පදවියට පත්වූ ජයවර්ධන මහතා 1947 වසරේ පිහිටුවන ලද එක්සත් ජාතික පක්ෂය රජයේ මුදල් ඇමැතිවරයා බවට පත්වී ලංකාවේ ප්‍රථම මුදල් ඇමැතිවරයා ලෙස ද ඉතිහාසයට එක් විය.

1943 සිට වසර 13ක් මැතිසබය නියෝජනය කළ ජේ. ආර්. ජයවර්ධන මහතාට පරාජයේ නීරස විඳින්නට සිදුවූයේ 1956 මහ මැතිවරණයේදී කැලණිය අසුනෙන් පරාජය වීමත් සමඟය. එක්සත් ජාතික පක්ෂයේ මිනී පෙට්ටියට අන්තිම ඇණයත් ගැසුවා යැයි කියමින් ජයග්‍රාහකයෝ කිරිබත් කමින් සිටියදී ඇතැම් එජාප නායකයෝ දේශපාලනයෙන් ද සමුගෙන විදේශ රටවලට පදිංචියට යමින් සිටියදී ජේ. ආර්. ජයවර්ධන මහතා පැමිණියේ වසා දමා තිබූ පක්ෂ මූලස්ථානය වූ සිරිකොතටය. යළි පක්ෂ මූලස්ථානයේ දොර ජනෙල් ඇර මකුළුදැල් කඩා පරිසරය පිරිසුදු කර එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි කටයුතු යළි ආරම්භ කිරීමට ජයවර්ධන මහතා මුල් විය.

බොහෝදෙනා ජේ. ආර්.ට පිස්සු යැයි කියා විහිළු කළහ. ජේ. ආර්. ජයවර්ධන මහතාගේ නව මෙහෙයුමට ආර්. ප්‍රේමදාස, ජිනදාස නියතපාල, ආනන්ද තිස්ස ද අල්විස්, ජේ. ආර්. පී. සූරියප්පෙරුම ආදී තරුණ නායකයන් රාශියක් එකතු වූහ. ඇම්. ඩී. බණ්ඩා, විජයපාල මෙන්ඩිස්, පාරිස් පෙරේරා, වී. ඒ. සුගතදාස, ඊ. ඇල්. බී. හුරුල්ල, ඊ. ඇල්. සේනානායක ආදින් ජේ. ආර්. ජයවර්ධන මහතා සමඟ ඉදිරි ගමනට සුදානම් විය. පළමුවෙන් පැමිණියේ කොළඔ නගර සභා මැතිවරණයයි. මේ මැතිවරණයට ජේ. ආර්. ජයවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂයෙන් කණ්ඩායමක් ඉදිරිපත් කළේ දෙගිඩියාවෙනි. ඡන්ද සටන උණුසුම් විය. බලයට පත්වූ බණ්ඩාරනායක රජයේ සියලු පැතුම් බොඳ කරමින් කොළඹ නගර සභාවේ බලය එක්සත් ජාතික පක්ෂයට හිමිවිය. එය මියගියා යැයි පැවසූ එක්සත් ජාතික පක්ෂයට නැවත පණ ඒමක් බඳු විය. 1959 සිදුවූ බණ්ඩාරනායක මහතාගේ ඝාතනය වන විට රජය මහජන අප්‍රසාදයට පත් වී තිබුණි. යළි එක්සත් ජාතික පක්ෂය රජයක අවශ්‍යතාව ජනතාවට වැටහී ගොස් තිබුණි. දහනායක මහතා අගමැති වූයේ නොසිතු විරූ අන්දමිනි. මේ පදවි ප්‍රාප්තිය සමඟ රජයේ විවිධ හැලහැප්පිලිවලට බඳුන් විය. දහනායක මහතා රජය විසුරුවා හැරියේ තවත් ඉදිරියට කාලය තිබියදීය.

මේ යුගය වන විට යළි එජාපයේ නායකත්වයට හිටපු අගමැති ඩඩ්ලි සේනානායක මහතා පැමිණ සිටියේය. එසේ පැමිණියේ ජේ. ආර්. ජයවර්ධන මහතා පක්ෂයට ගොඩනැඟු ශක්තිමත් වටපිටාවත් සමඟය. 1960 මාර්තු මාසයේ පැවැති මහ මැතිවරණයෙන් ඉතා විශිෂ්ට නොවුණත් රජයක් පිහිටුවීමට යම් ශක්තියක් එජාපයට උදා වී තිබුණි. ඒ අනුව ඩඩ්ලි සේනානායක මහතාගේ නායකත්වයෙන් නව රජයක් පිහිටුවීමට හැකියාව ලැබුණත් මසකට මඳක් වැඩි කාලයක් එම රජය පැවැතුණි. 1960 ජූලි මාසයේ යළි මහ මැතිවරණයක් පැවැත්විණි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට රජයක් පිහිටුවීමට බලය ලැබිණි. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය අගමැතිනිය විය. එජාපය විපක්ෂයේ වාඩි විය. 1964 වන විට එම රජය ද මහජන අප්‍රසාදයට ලක්වී තිබුණු අතර, රජයේ මැති ඇමැතිවරු බොහොමයක් රජයට එරෙහිව ඇතුළත සංවිධාන වෙමින් තිබුණි.

දුප්පත් ජනතාවට සතිපතා නොමිලේ සහල් සලාකයක් නිකුත් කිරීම, රෝහල්වල ප්‍රතිකාර ලබන රෝගීන්ට නොමිලේ ආහාර ලබා දීම, පාසල් දරුවන්ට නොමිලේ දිවා ආහාරයට කිරි විදුරුවක් ලබාදීම ආදි වැඩසටහන් මේ රජයෙන් ක්‍රියාත්මක කළත් 1970දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනතාවට හඳෙන් හෝ හාල් සේරු දෙකක් ගෙනැවිත් දෙන බවට කළ ප්‍රචාරයක් නිසා එම රජය ද බලයෙන් පහව ගියේ නොසිතූ ලෙසය. එජාපයේ ගමන්මඟ වෙනස් විය. පක්ෂය පොදු ජනතාවගේ පක්ෂයක් බවට පත් කිරීමේ යෝධ පිම්ම එතුමා ඇරඹුවේ ඕනෑම අයෙකුට රුපියලක් ගෙවා පක්ෂයේ සාමාජිකත්වය ගැනීමට මඟ පාදමිනි. පක්ෂයේ පැරණි නායකයන් සමඟ පෑහෙන තරුණ නායකයන් බිහිකිරීමට ජේ. ආර්. ජයවර්ධන මහතා සිතා ගත්තේය. ගාමිණී දිසානායක මහතා එවකට පක්ෂයේ සිටි ඉදිරි පෙළේ එකම තරුණ නායකයා විය. අලුතින් ලලිත් ඇතුලත්මුදලි, රනිල් වික්‍රමසිංහ, සමරවීර වීරවන්නි, ගාමිණි අතුකෝරළ, රේණුකා හේරත්, ජයවික්‍රම පෙරේරා, ප්‍රේමරත්න ගුණසේකර, ඇම්. ජී. ප්‍රේමචන්ද්‍ර, වින්සන්ට් ඩයස් ආදි තරුණයන් ආසන සංවිධායකවරුන් බවට පත්කර ඔවුනට පක්ෂයේ වගකීම පැවරුවේය. වෙනමම කථික පිරිසක් පුහුණුකර ගම්දනව්වලට යවා සියලුම සතිඅන්තවල ජනතාව දැනුම්වත් කිරීමට රැස්වීම් පැවැත්වූහ. සියරට, දිනපතා, ද ජනරල්, නම්දේශම් ආදී වශයෙන් සිංහල, ඉංග්‍රීසි, දෙමළ භාෂා ත්‍රිත්වයෙන්ම පත්තර නිකුත් කර රට පුරා පාඨකයන් බිහි කළහ.

මේ නව පිළිවෙත් නිසා ජේ. ආර්. ජයවර්ධන මහතා වටා ජනතාව රැස්වූයේ පොදිකමිනි. නායකත්වය වෙනුවෙන් සටන් වදින හෝ ඒ සඳහා පිරිස් උසිගන්වන අය පක්ෂයෙන් පලවා හැරියේ රටටත්, ජාතියටත් සිදු කරන්නට යන මෙහෙවරට අභ්‍යන්තර ආරවුල් හරස්වන බව වටහාගෙනය. 1977 ජූලි 21 වැනි දින පැවැති මහ මැතිවරණයෙන් අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ජයවර්ධන මහතා ලබා ගත්තේ 6/5ක බලයක් නව ආණ්ඩුවට හිමිකර ගනිමිනි. එතෙක් රට පාලනය කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වසරක් ඇතුළත සම්පූර්ණයෙන් වෙනස් කළේය. බලය ලබා වසර 5ක් යන විට රටේ අගනුවර ද වෙනස් කර එහි නව පාර්ලිමේන්තුවක් ගොඩනඟා එයට ගෙවැදුණි. පාසල් දරුවන්ට නොමිලේ පාසල් පොත් ලබාදීම, කඩිනම් මහවැලි ව්‍යාපාරය වසර 06ක් ඇතුළත නිම වී අවසන් කිරීම, නිදහස් වෙළෙඳ කලාප බිහිකිරීම, නව ගොවිජනපද හා නගර බිහිකිරීම, සංස්කෘතික ත්‍රිකෝණය ආරම්භ කිරීම, හෙළ සිරිතට වප් මඟුල් පවත්වා ගොවිතැන් කටයුතු ආරම්භ කිරීම, රාජ්‍ය සාහිත්‍ය උත්සවය වාර්ෂිකව පැවැත්වීම, එතෙක් පාසල් පොත්වල නූගන්වා සිටි ඉතිහාසය, සාහිත්‍ය පාසල් විෂ්‍ය ධාරාවට එක්කිරීම ජයවර්ධන රජයේ ප්‍රතිපත්ති විය. ලංකාව දියුණුවන ලෝකය සමඟ මිශ්‍ර කළේ ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා විසිනි.

ඔහුගේ මෙහෙවර මල්ඵල දරන්නේ ඔහුගේ ප්‍රයෝජනය පිණිස නොව මතු පරපුරේ අනාගතය පිණිස බව ජයවර්ධන මහතාගේ ප්‍රසිද්ධ කියමනක් විය. යමෙක් නිවැරදි තීරණයක් ගත් විට තාවකාලික බැනුම් ඇසීමට සිදුවීම සිරිතක් බවත් නිවැරදි නොවන ජනප්‍රිය තීරණ ගතහොත් ඔහු අඩි හතරක් පොළොව යටට යන බවත් ජයවර්ධන මහතා පැවසුවේ නිකමට නොව ලෝක ඉතිහාසය මැනවින් හදාරා තිබුණු නායකයකු ලෙසය. “ඔබට පාලනය කිරීමට ලංකාව පොඩි වැඩියි, ඔබට හොඳ අමෙරිකාව වැනි විශාල රටක් පාලනය කිරීමයි.” අමෙරිකානු ජනාධිපති රොනල්ඩ් රේගන් ජනපතිවරයා වරක් ජනාධිපතිවරයාට පැවසුවේ ජේ. ආර්. ජයවර්ධනයන් ගැන හොඳට හදාරා තිබුණු නිසාය.

නමුත් ලංකාවේ බොහෝදෙනා ජයවර්ධන මහතා හඳුනාගෙන තිබුණේ නැත. එවන් නායකයකු අප රටට හිමි වී ඇත්නම් ඔහු වර්තමානයේ අප රට පාලනය කරන රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාය. මීට වසර 44කට පෙර මෙරට පාලනයේ සුක්කානම ප්‍රථමවරට අතට ගත් ජේ. ආර්. ජයවර්ධන මහතාගේ රජයේ ළාබාලම ඇමැතිවරයා එතුමන් ජනපති වී වසර 44ක් පිරෙන විට රටේ ජනපතිවරයා වී තිබීමෙන් අපට පෙනී යන්නේ ජේ. ආර්. යනු රජුන් තනන්නෙකු බවය. එය ශ්‍රේෂ්ඨ ජනතා පුත්‍රයකු මෙරට ජන්මලාභය ලබා වසර 116ක් සපිරෙන මේ උතුම් අවස්ථාවේදී ජේ. ආර්. ජයවර්ධන ශ්‍රී නාමය අනාගතයේදී තවත් සුදිලෙනු ඇතැයි යන්න මගේ විශ්වාසයයි.

එජාප සභාපති සහ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන

More articles

Latest article