28.8 C
Colombo
ඉරිදා, මැයි 26, 2024

කුරානයට අපහාස කළැයි පැවරූ නඩුවෙන් ඥානසාර හිමි නිදහස්

Must read

පොලොන්නරුව සින්නවෙලපට්ටි ගම්මානයේදී සහ මෙහෙරගොඩැල්ල ප්‍රදේශයේදී මාධ්‍ය හමු පවත්වමින් ඉස්ලාම් ධර්මයට හා කුරානයට අපහාස වන පරිදි ප්‍රකාශයක් නිකුත් කළැයි කියන සිද්ධියකට අදාළ බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය විසින් පවරා තිබූ නඩුවෙන් හිමියන් නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී. රාගල මහතා නියෝග කළේය. මේ සිද්ධියට අදාළ නඩු කටයුතු ඉදිරියට පවත්වාගෙන නොයන බවත් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නඩුවෙන් නිදහස් කරන ලෙසට නීතිපතිවරයා දුන් උපදෙස් අනුව මහේස්ත්‍රාත්වරයා මේ නියෝගය නිකුත් කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා මේ සිද්ධියේ පැමිණිලිකරු වන අතර, වසර පහකට පසුව මෙලෙස නිතීපතිවරයා විසින් සිය උපදෙස් දී තිබිණ. 2017 /05/06 දින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පොලොන්නරුව සින්නවෙලපට්ටි ගම්මානයේදී සහ මෙහෙරගොඩලැල්ල ප්‍රදේශයේදී මාධ්‍ය හමුවලදී ඉස්ලාම් ආගමට හා කුරානයට අපහාස වන ආකාරයට කරුණු ඉදිරිපත් කළ බවට පැමිණිල්ලේ සඳහන්ය.

සිද්ධියට අදාළ පැමිණිල්ල යළි කැඳවූ අතර, ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණය හමුවේ පෙනී සිටියහ. පැමිණීල්ල වෙනුවෙන් පෙනී සිටි සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය විසින් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් මේ සිද්ධියේ සැකකරු වන ඥානසාර හිමියන්ට එරෙහිව තවදුරටත් නීතිමය වශයෙන් කටයුතු නොකරන බැවින් මේ නඩුවෙන් හිමියන් නිදහස් කරන ලෙසට නීතිපතිවරයා උපදෙස් දෙමින් සඳහන් කර ඇති බවට සඳහන් කළේය.

අදාළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා එම සිද්ධියෙන් ඥානසාර හිමියන් නිදහස් කර මුදා හැරීමට නියෝග කළේය.

More articles

Latest article