30 C
Colombo
බදාදා, අප්‍රේල් 24, 2024

සෙන්පති ඩෙන්සිල් කොබ්බෑකඩුව දැයට අහිමි වී අදට වසර 30යි

Must read

අද (08) දිනට යෙදෙන වීර සෙන්පති ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතාගේ 30 වැනි ගුණ අනුස්මරණ සැමරුම නිමිත්තෙනි.

යම් පුද්ගලයකු මිය යෑමෙන් පසුව ඔහු ගැන මතකය සදාකල් පවතී නම් සැබවින්ම එය විශ්මය ජනකය. එම පුද්ගල නාමය ඉදිරියේ නිකැලැල් වූ රන් සටහන් තබමින් තම මවුබිමේ භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් තම ජීවිතය පූජා කළ අයකු වීම ද අතිශයින්ම දුර්ලභ වූ කාරණයකි. ඒ අදට තිස් වසරකට පෙර එනම් 1992 අගෝස්තු මස 08 වැනි දින මවුබිම වෙනුවෙන් තම යුතුකම් කොටස මැනවින් ඉටු කරමින් දිවි පිදු වීර සෙන්පති ඩෙන්සිල් කොබ්බෑකඩුව මැතිඳුන්ය.

මහනුවර ප්‍රභූ පවුලකින් පැවත එන පිළිමතලාව දෙල්දෙණිය වලව්වේ ලොකු බණ්ඩා කොබ්බෑකඩුව නිලමෙතුමා සහ මහනුවර ගුණ්නෑපාන අමුණුගම වලව්වේ අයෝනා රත්වත්තේ මැතිනියට දාව 1940 ජූලි මස 27 වැනි දින අමුණුගම ගුණ්නෑපාන වලව්වේදී උපත ලද ඩෙන්සිල් ලක්ෂ්මන් කොබ්බෑකඩුව මහතා මහනුවර හිල්වුඩ් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ද, මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනය ද ලබා ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලැබූවෙකි.

බණ්ඩාරනායක පාලනයට විරුද්ධව 1971දී පැන නැඟුණ ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ල මර්දනය කිරීමට යුද හමුදාවේ දකුණු ප්‍රදේශය භාරව කටයුතු මෙහෙයවීම භාර දෙනු ලැබූවේ ද කොබ්බෑකඩුව මහතාටය. එහිදී අනෙක් නිලධාරීන්ට සාපේක්ෂව සිරකරුවන් කෙරෙහි මානව දයාවෙන් සහ සානුකම්පිතව කටයුතු කළ මෙතුමා සියලු හමුදා නිලධාරීන් සහ සිරකරුවන් අතරේ ද ජනප්‍රිය වන්නේ හමුදාවන් තුළ වූ මානුෂීය ගුණාංගයන්ගෙන් හෙබි හදවතක් ඇති උතුම් මිනිසකු ලෙසය. උපතින්ම හිමි වූ පෞරුෂත්වයත්, ස්ථානෝචිත ප්‍රඥාවත් නිසා 1990 වර්ෂය වන විට මේජර් ජෙනරාල් තනතුර දක්වා උසස් වීම් ලැබුයේ රණබිමෙහි තම මව්බිම වෙනුවෙන් අභීතව පෑ රණ ශූරත්වය හා නායකත්වය නිසාය. මේ අතරින් කොබ්බෑකඩුව නාමය ලක් දෙරණේ රැව් පිළිරැව් දෙන්නේ මෙරට යුද ඉතිහාසය තුළ වූ දැවැන්ත යුද මෙහෙයුම්වලින්ය.

1987දී බ්‍රිගේඩියර්වරයකු වශයෙන් නායකත්වය දුන් වඩමාරච්චි මෙහෙයුමෙන් වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු ත්‍රස්තවාදී නායකයන් යාපනය අර්ධද්වීපයට කොටු කිරීම යුද හමුදාවන් ලද සුවිශේෂී ජයග්‍රහණයකි. නමුත් එවකට පැවති රජයේ අදූරදර්ශී දේශපාලන ප්‍රතිපත්ති හමුවේ මේ ක්‍රියාන්විතය නවතා දැමූවේ මුළු මහත් ශ්‍රී ලංකාවාසී අප සැමගේ අවාසනාවකටය. ඉන් පසුව 1990දී නැඟෙනහිර පළාතේ LTTE ක්‍රියාකාරීත්වය අඩාළ කිරීමට ආරම්භ කළ ‘ක්ලීන් ස්වීප්’ මෙහෙයුමත්, එම වර්ෂයේම අලිමංකඩ හමුදා කඳවුර නැවත අත්පත්කර ගැනීමට ඇරඹි ‘බලවේගය’ මෙහෙයුමත්, ඉන් අනතුරුව සමස්ත ලක් ධරණී තලයම වියරු ත්‍රස්තවාදයෙන් බේරාගැනීමට සැලසුම් කළ ‘ෆයිනල් කවුන්ට් ඩවුන්’ මෙහෙයුම්වලත් ප්‍රධාන සැලසුම්කරු වන්නේ කොබ්බෑකඩුව මහතාය.

අවියක් අතින් ගෙන යුද බිමට බට සෑම සොල්දාදුවකුම මෙන්ම නිලධාරියකුම තම දිවියට වඩා තම මව්බිමේ සෛවරීත්වය හා භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් තම දිවිය දෙවෙනි කොට සටන් වැදීම සාමාන්‍ය සිරිතක් වුවත් තම සියලුම හමුදා සාමාජිකයන්ට වරක් පියතුමකු ලෙසත්, තවත් වරෙක සහෝදරයකු ලෙසත්, තවත් විටෙක වෛද්‍යවරයකු ලෙසත් රණබිම තුළ ඔවුන්ගේ චිත්ත ධෛර්ය වඩවමින් මානසික ඒකාග්‍රතාව දුර්වල වීමට නොදී උසස් මට්ටමක පවත්වාගෙන යෑමට මෙතුමන් අතින් වූ සේවය මෙතකැයි කිව නොහැකිය.

ශ්‍රී ලංකා යුද ඉතිහාසයේ බිහි වූ වීරවරුන් අතර ඉහළින්ම සිටි මේ අභීත සෙන්පතියාණන් 1992 අගෝස්තු මස 08 වැනි දින යාපන අර්ධද්වීපයේ ආරාලි තුඩුවේදී සිදු වූ බෝම්බ පිපිරීමකින් ලක් මවුන්ට අහිමි විය.

තම හමුදා දිවියේ ශ්‍රී ලංකා ජනරජ සන්නද්ධ සේවා පදක්කම, ජනාධිපති සමාරම්භක පදක්කම, ශ්‍රී ලංකා සන්නද්ධ සේවා පදක්කම, වඩමාරච්චි මෙහෙයුම් පදක්කම, රණශූර පදක්කම දෙවරක්, විශිෂ්ට සේවා විභූෂණ පදක්කම, උත්තම සේවා පදක්කම මෙන්ම උත්තම පූජා පදක්කම ආදී පදක්කම්වලින් ද පිදුම් ලද ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව රණ විරුවාණන් ශ්‍රී ලංකා යුද ඉතිහාසයේ කළ අපරිමිත සේවය පිටු ගණනකින් ලියා නිම කළ නොහැකිය. කන්ද උඩරට මහනුවර පිළිමතලාවේ දෙල්දෙණිය වලව් සෙවණේ හැදී වැඩී මාගේ ග්‍රාමයේ නිකලැල් සුවඳ විඳිමින් සරල දිවි පෙවතක් ගත කරමින් ඉන් වැඩි කලක් මාතෘ භූමිය වෙනුවෙන් තම යුතුකම් කොටස උපරිම අයුරින් ඉටු කොට අපගේ කීර්තිමත් කොබ්බෑකඩුව නාමය රන් අකුරින් ලියමින් අප අතරින් වෙන් වී ගිය මාගේ ඥාති සහෝදර ඩෙන්සිල් කොබ්බෑකඩුව සහෘදයාණෙනි, ඔබ අප අතරින් සමුගෙන ගොස් 30 වසරක් ගත වූවත් ඔබගේ නාමය අප හදවත් තුළ සදාකල් රැව්පිළි රැව් දේ.

ඔබගේ වියෝව ආදරණීය බිරිය වන ලලී කොබ්බෑකඩුව මැතිනියටත්, රොෂානී සහ ශනිල්කා දියණිවරුන්ටත්, එකම පුත් දිල්ශාන් ඇතුළු පවුලේ උදවියටත් දැරිය නොහැකි පාඩුවකි. ඔබ අප අතරින් වෙන්ව ගිය ද හැකි සෑම විටම ආගමානූකුලව පින් පමුණුවා අදටත් අප ඔබ සිහි කරන්නේ මහත් වූ අභිමානයෙනි. ඔබතුමන් උපදින ජාති ජාතිත් අප අතරම ඉපිද අවසානයේ සසර කෙළවර වූ අමා මහ නිවනින් සැනසෙත්වායි ප්‍රාර්ථනය කර සිටිමි.

ටිකිරි කොබ්බෑකඩුව
ආණ්ඩුකාරවර, සබරගමුව පළාත

More articles

Latest article