27.3 C
Colombo
බදාදා, මැයි 22, 2024

දේශීය ඖෂධ නිෂ්පාදනය කරන ආයෝජකයන් 15කටඅනුරපුරෙන් ඉඩම්

Must read

දේශීය ඖෂධ නිෂ්පාදන ආයෝජකයන් 15කට අනුරාධපුර ඔයාමඩුව ඖෂධ නිෂ්පාදන කලාපයේ ඉඩම් ඔප්පු ප්‍රදානය ඉඩම් ඇමැති එස්.එම්. චන්ද්‍රසේන සහ ඖෂධ නිෂ්පාදන, සැපයීම හා නියාමන රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඉඩම් අමාත්‍යාංශයේ දී ඊයේ (15) සිදුකෙරිණ.

මේ ව්‍යාපෘතියට ආයෝජනය සඳහා ආයෝජකයන් 31ක් ව්‍යාපෘති යෝජනා ඉදිරිපත් කළ අතර ඉදිරිපත් වූ ව්‍යාපෘති යෝජනා සියල්ල විද්වත් කමිටුවකට යොමු කර තිබේ.

එම කමිටුව මගින් ඒවා අධ්‍යයනය කර ආයෝජකයන් 20ක් තෝරාගෙන ඇති අතර මේ ව්‍යාපෘතිය සඳහා වන සමස්ත වියදම රුපියල් මිලියන 28,000කි. එයින් සෘජු හා වක්‍ර රැකියා 7,500ක් බිහි කළ හැකි බවට ඇස්තමේන්තු කර ඇත.

මේ ව්‍යාපෘතියෙන් ඖෂධ වර්ග 236 ක් හා ශල්‍ය උපකරණ 44 ක් රටේ නිෂ්පාදනය කිරීමට සැලසුම් කර ඇත.

අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුව රටේ නිෂ්පාදනය කළ හැකි සියලුම ඖෂධ ශ්‍රී ලංකාවේම නිෂ්පාදනය කර තත්ත්වයෙන් උසස් ඖෂධ අඩු මිලට ජනතාවට ලබාදීම සඳහා දේශීය ව්‍යාපාරිකයන් හා ආයෝජකයන් දිරි ගැන්වීමේ අරමුණෙන් ආයෝජකයන් සඳහා වෙන් වූ විශේෂිත ඖෂධ නිෂ්පාදන කලාපයක් පිහිටුවීමට මුදල් අමාත්‍යාංශය හා එක්ව ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

ඒ යටතේ අනුරාධපුර ඔයාමඩුව “දැයට කිරුළ” ප්‍රදර්ශනය පැවැති භූමියේ අක්කර 80ක භූමි ප්‍රමාණයක යෝජිත ඖෂධ නිෂ්පාදන කලාපය පිහිටුවීමේ කටයුතු ආරම්භ කෙරිණ.

වර්තමානය වන විට සමස්ත ඖෂධ අවශ්‍යතාවෙන් දේශීය නිෂ්පාදනය කරන්නේ සියයට 15ක් වැනි සුළු ප්‍රතිශතයකි. ඖෂධ ආනයනය කිරීමට වාර්ෂිකව දළ වශයෙන් රුපියල් බිලියන 65ක් පමණ වැය කරයි. රටේ නිෂ්පාදනය කළ හැකි ඖෂධ රටේම නිෂ්පාදනය කිරීමෙන් විදේශ විනිමය ඉතිරි කර ගැනීමට මහඟු අවස්ථාවක් සැලසේ.

More articles

Latest article