28.6 C
Colombo
සිකුරාදා, මැයි 24, 2024

කොවිඩ් නිසා කෝටි 2,700ක සුරාබදු අහිමි වුණා – සුරාබදු අධ්‍යක්ෂ ජනරාල්

Must read

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් 2021 වසරේ මේ වන විට රුපියල් කෝටි 2,700ක සුරාබදු ආදායමක් රජයට අහිමිව ඇතැයි සුරාබදු අධ්‍යක්ෂ ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතා පසුගිය (22) පැවති රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී (කෝපා කමිටුවේදී) ප්‍රකාශ කළේය. සුරාබදු දෙපාර්තමේන්තුවේ මේ වසරේ අපේක්ෂිත ආදායම රුපියල් කෝටි 16,000ක් වුවද කොවිඩ් තත්ත්වය හමුවේ ඊට ළඟා වීම අපහසු බවත් සුරාබදු අධ්‍යක්ෂ ජනරාල්වරයා කමිටුවට පෙන්වා දුන්නේය.

ඒ මහතා මේ බව සඳහන් කළේ සුරාබදු දෙපාර්තමේන්තුවට අදාළව 2019 වර්ෂය සඳහා වූ විගණකාධිපති වාර්තාව සහ වර්තමාන කාර්ය සාධනය පිළිබඳ විමසා බැලීම සඳහා මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පසුගියදා (22) රැස් වූ අවස්ථාවේදීය.

සුරාබදු දෙපාර්තමේන්තුව, රේගු දෙපාර්ත‍මේන්තුව සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව එකිනෙකට සම්බන්ධ වන පරිගණක පද්ධතියක් සැකසීම සම්බන්ධයෙන් 2019 වසරේදී පැවති කෝපා කමිටු රැස්වීමකදී නිර්දේශ දී තිබුණද එය මේ දක්වා ක්‍රියාත්මක කර නොතිබීම පිළිබඳ කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා විය.

තවද දෙපාර්තමේන්තුවේ සුරාබදු ආදායම ගණනය කිරීමේ ක්‍රියාවලිය නිවැරැදි කිරීමට අදාළව පරිගණක මෘදුකාංග පද්ධතියක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවද කමිටුව අවධාරණය කළ අතර, 2016 වර්ෂයේ සිට 2018 වර්ෂය සඳහා අයවැය සහ පරිපූරක මඟින් ප්‍රතිපාදන වෙන් වී තිබුණද එම ව්‍යාපෘතිය නිසි ලෙස ක්‍රියාත්මක වී නොතිබීම පිළිබඳ ද ‍අවධානය මෙහිදී යොමු විය. මේ අනුව දෙපාර්තමේන්තුව අයත් සියලු ආයතන ඒකාබද්ධ කරමින්ද ඉතා කඩිනමින් මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව කමිටුව පෙන්වා දෙන ලදි.

මේ වන විට පරිගණක පද්ධතියක් ස්ථාපිත කිරීම සඳහා කටයුතු ආරම්භ කර ඇති බව සුරාබදු අධ්‍යක්ෂ ජනරාල්වරයා කමිටුවට දන්වා සිටියේය. එහිදී කමිටුව සුරාබදු අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝග කර සිටියේ මේ පරිගණක පද්ධතිය ස්ථාපිත කිරීමට අදාළ කාල රාමුව නිෂ්චිත සැලැස්මක් සහිතව නොවැම්බර් 5 දාට පෙර කඩිනමින් කෝපා කමිටුවට ඉදිරිපත් කරන ලෙසයි.

More articles

Latest article