33 C
Colombo
සිකුරාදා, අප්‍රේල් 19, 2024

ප්‍රදේශ කිහිපයකට නායයෑමේ රතු නිවේදන නිකුත් කෙරේ

Must read

අධික වර්ෂාවත් සමඟ රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, කුරුවිට සහ ඇලපාත මෙන්ම, කලුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා නායයෑමේ රතු අවදානම් නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.

මේ අතර දිවයිනේ ප්‍රදේශ රැසකට ඇදහැලෙන අධික වර්ෂාපතනයත් සමග දිස්ත්‍රික්ක 8ක් සඳහා නාය යෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට පියවර ගෙන ඇත.

ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ යක්කලමුල්ල, නාගොඩ සහ බද්දේගම, කලුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට සහ බුලත්සිංහල මෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ, කහවත්ත, කලවාන සහ අයගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාහ සඳහා දෙවැනි මට්ටමේ නාය යෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

දිවයිනේ ප්‍රදේශ රැසකට ඊයේ සිට තද වැසි ඇදහැලෙමින් පවතී.

ගත වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනයක් වාර්තා වුණේ ගාල්ල, යක්කලමුල්ලෙනි.

එය මිලි මීටර් 195ක් ලෙස දැක්වුණි.

වර්ෂාවත් සමග කලු ගඟ රත්නපුරයෙන්, මඟුරු ගඟ මගුර ප්‍රෙද්ශයෙන්, කුඩා ගඟ මිල්ලකන්දෙන් සහ ගිං ගඟ තවලම ප්‍රදේශයෙන් සුළු ගං වතුර තත්ත්වයක් දක්වා ඉහළ යමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මේ අතර බස්නාහිර, දකුණු, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට ඉදිරි පැය 24 තුළ මිලිමීටර 150කට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බවය.

More articles

Latest article