27.5 C
Colombo
සිකුරාදා, අප්‍රේල් 19, 2024

මෙරට ආර්ථික ස්ථායීකරණයට බලපාන නීති ප්‍රතිසංස්කරණයට අදාළ යෝජනා එළඹෙන දෙසැම්බර් අගදී රටට ඉදිරිපත් කිරීමට පියවර

Must read

මෙරට ආර්ථික ස්ථායීකරණයට බලපාන නීති ප්‍රතිසංස්කරණයට අදාළ යෝජනා එළඹෙන දෙසැම්බර් අගදී රටට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

ඒ් මහතා මේ බව සඳහන් කළේ රටේ ආර්ථික ස්ථායීකරණයට අදාළ නව නීති පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා උක්ත කමිටුව පසුගියදා (15) රැස්වූ අවස්ථාවේදීයි.

විශේෂයෙන් රට ආර්ථික වශයෙන් බංකොලොත් භාවයට පත් වීමට හේතු වූ කරුණු මොනවාද ඒ් සඳහා බලපෑ හේතු අතර පවතින නීතියේ අඩුපාඩු තිබේද යන්න සාකච්ඡා කිරිම සහ ඒ් පිළිබඳ ඒළඹීමට අපේක්ෂිත ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධව සාකච්ඡා කිරීම වැදගත් බව සභාපතිවරයා මෙහිදී පැවසීය.
රට තුළ ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම සඳහා දේශීය සහ ජාත්‍යන්තර සහයෝගය ලබා ගැනීමේදී මෙරට නීති පද්ධතිය තුළ ඇති කළ යුතු වෙනස්කම් පිළිබඳ මෙහිදී විද්වතුන් විසින් අදහස් පළ කරන ලදී.

මහ බැංකුවේ කාර්යභාරය, මහාභාණ්ඩාගාරයේ කාර්යභාරය හා වගවීම, ආණ්ඩුවේ කාර්යභාරය හා වගවීම, රාජ්‍ය නිලධාරින්ගේ දේශපාලනඥයන්ගේ සහ ඔවුන් සමග ගනු දෙනු කරන ව්‍යාපාරික ප්‍රජාවගේ වගවීම පිළිබඳ මෙහිදි සාකච්ඡා කෙරිණි. එමෙන්ම මහා පරිමාණයේ දූෂණ මර්දන ක්‍රියාවලියක අවශ්‍යතාවය සහ වත්කම් බැරකම් පිළිබඳ නීතිය ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම පිළිබඳ යෝජනාද මෙහිදී ඉදිරිපත් කෙරිණි.

එහිදී අධිකරණ අමාත්‍යාංශයේ නිලධාරීන් සඳහන් කළේ මේ වන විට නව නීති සම්පාදනය කිරීම් සහ පවතින නීති සංශෝධනය කිරීම් 55ක් සිදුවෙමින් පවතින බවයි.

මෙහිදී ජ්‍යෙෂ්ඨ නීතිවේදීන් පෙන්වා දුන්නේ කොවිඩ් වසංගත තත්ත්වය හේතු‌කොටගෙන මේ වන විට අධිකරණවල විභාග වෙමින් පවතින නඩු සංඛ්‍යාව අධික වීම නිසා උද්ගතවී ඇති තත්ත්වයට පිළියමක් ලෙස නඩු විභාග කාර්යක්ෂමව කළමනාකරණය කළ යුතු බවයි.

More articles

Latest article