31 C
Colombo
සෙනසුරාදා, අප්‍රේල් 13, 2024

ළමා මන්දපෝෂණය ගැන යුනිසෙෆ් වාර්තාව අසත්‍යයි – සෞඛ්‍ය අමාත්‍යාංශය

Must read

මන්දපෝෂණය 13.2%කින් අඩු වෙලා
යුනිසෙෆ් ආයතනයට කරුණු කියනවා
– සෞඛ්‍ය ලේකම් ජනක චන්ද්‍රගුප්ත

මෙරට අවුරුදු 5ට අඩු දරුවන්ගේ මන්දපෝෂණ තත්ත්වය සියයට 13.2කින් අඩු වී ඇති බව වෛද්‍ය පර්යේෂණ ආයතනය මඟින් වසර 2021 අග භාගයේ සිදු කරන ලද ජාතික මට්ටමේ සමීක්ෂණයට අනුව සනාථ කර තිබියදී යුනිසෙෆ් ආයතනය මඟින් දීර්ඝකාලීන දත්ත පදනම් කරගෙන දරුවන්ගේ මන්දපෝෂණ තත්ත්වය විශාල ලෙස වැඩි වී ඇති බවට ප්‍රසිද්ධ කර ඇති මාධ්‍ය වර්තාව සාවද්‍ය බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක චන්ද්‍රගුප්ත මහතා පැවසීය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ලේකම්වරයා ඊයේ (06) මේ බව අනාවරණය කළේය.

මන්දපෝෂණ තත්ත්වයන් ගණනයට මිටි බව, කෘශ බව හා උසට සරිලන බර යන සාධක තුන සැලකිල්ලට ගෙන කෙටි කාල සීමාවක් සැලකිල්ලට ගත යුතු නමුත් යුනිසෙෆ් ආයතනය මඟින් කෘශ බව පමණක් පදනම් කරගෙන ඒ වෙනුවෙන් දීර්ඝකාලීන කාල පරාසයක් යොදාගෙන සාවද්‍ය වාර්තා සකස් කර ඇති බව ද හෙතෙම කීවේය.

යුනිසෙෆ් ආයතනය මඟින් මේ වාර්තාව සැකසීමට එක් එක් රටවල් සඳහා විවිධ වසර භාවිත කර ඇති නමුත් ශ්‍රී ලංකාව සඳහා 1995 වසරේ සිට 2019 දක්වා දීර්ඝ කාල පරාසයක් මත සමීක්ෂණවල දත්ත සංසන්දනය කර ඇත. එසේම ශ්‍රී ලංකාව සඳහා 2016 වසරේ කරන ලද ජන විද්‍යාත්මක සහ සෞඛ්‍ය සමීක්ෂණ දත්ත සංසන්දනය කර ඇත. මේ අතර ඒ වෙනුවෙන් මේ රටේ කෘශ බව 15%ක් ලෙස සැලකිල්ලට ගෙන ඇති බව ද ලේකම්වරයා පෙන්වා දුන්නේය. මේ වාර්තාවේ අඩුපාඩු සම්බන්ධයෙන් යුනිසෙෆ් ආයතනයට කරුණු පැහැදිලි කිරීමට පියවර ගත් බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේද කීය.

“වෙනත් රටවල මෙන් නොව මෙරට දරුවන් කෘශ බව සමඟ මරණයට පත්වීමේ හා රෝගවලට ගොදුරු වීමේ අවදානමක් මෙතෙක් දක්නට ලැබී නැති අතර මැරස්මස්, ක්වොශියෝකෝර් වැනි උග්‍ර මන්දපෝෂණ තත්ත්වයන්හි කිසිදු අවදානමක් ද නැත. දීර්ඝකාලීන මන්ද පෝෂණය එනම් මිටි බව සැලකූ කල අප්‍රිකානු රටවලට වඩා ශ්‍රී ලංකාව පෝෂණ මට්ටමෙන් යහපත් තත්ත්වයක පසුවනවා. මෙරට මන්ද පෝෂණ මට්ටම ගණනය වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් ග්‍රාමීය දත්ත, සමාජ පසුබිම මෙන්ම සෞඛ්‍ය දත්ත එක්රැස් කරගෙන පවුල් සෞඛ්‍ය කාර්යාල මඟින් අදාළ සියලු දත්ත එකතු කරගෙන මන්දපෝෂණ තත්ත්වය ගණනය කරන නමුත් යුනිසෙෆ් ආයතනය පදනම් වර්ෂයකින් තොරව සිදු කර ඇති ප්‍රකාශය නිවැරදිතාවයෙන් තොරයි. අප්‍රිකානු රටවල මෙන් වර්තමානයේ අප රටේ දරුවන් අතර මන්දපෝෂණ තත්ත්වයක් නැහැ. මිටි බවින් ඉහළ රටවල් 150 ගත්තම අප රට 70 වැනි ස්ථානයෙයි පසුවන්නේ.

නමුත් අනාගතයේ ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් හදිසි පෝෂණ සැලැස්මක් අපි ඇති කරගෙන ඇති අතර එය පසුගිය ජූලි මාසයේ ඉදිරිපත් කළා. ඒ අනුව ගැබිනි මවුවරුන්ට, කුඩා දරුවන්ගේ පෝෂණ අවශ්‍යතා වෙනුවෙන් අපි විශේෂ අවධානය යොමු කර ඇති අතර ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය පූර්ණ වගකීමෙන් කටයුතු කරන බව ද ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේය.

අතිරේක ලේකම් ලක්ෂ්මි සෝමතුංග, අධ්‍යක්ෂ ජනරාල් සුසී පෙරේරා, පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා, පවුල් පෝෂණ අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් සමරනායක යන මහත්ම මහත්වරු ද මෙහිදී අදහස් ප්‍රකාශ කළහ.

More articles

Latest article