34 C
Colombo
සඳුදා, අප්‍රේල් 22, 2024

නිරායුධකරණය සහ ජගත් ආරක්ෂාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ පළමු කමිටුවේ සභාපති මොහාන් පීරිස්

Must read

නිරායුධකරණය සහ ජාත්‍යන්තර ආරක්ෂාව සම්බන්ධ එක්සත් ජාතීන්ගේ පළමු කමිටුවේ සභාපතිවරයා වශයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිව්යෝර්ක්හි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත හා තානාපති මොහාන් පීරිස් මහතා පත් කර තිබේ.

නිරායුධකරණය සහ ජාත්‍යන්තර ආරක්ෂාව සම්බන්ධ කරුණු සම්බන්ධයෙන් කටයුතු කරන එක්සත් ජාතීන්ගේ පළමු කමිටුව පසුගියදා රැස්වූ අතර එහිදී මොහාන් පීරිස් මහතා එහි සභාපතිවරයා වශයෙන් තෝරාගෙන තිබෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

එක්සත් ජාතීන්ගේ කටයුතු මූලික වශයෙන් කමිටු හයක් හරහා ක්‍රියාත්මක කරන අතර, එයින් පළමු කමිටුව ජාත්‍යන්තර ප්‍රජාවට බලපාන නිරායුධකරණය, ගෝලීය අභියෝග සහ සාමයට ඇති තර්ජන සම්බන්ධයෙන් කටයුතු කරන බවද ජාත්‍යන්තර ආරක්ෂක තන්ත්‍රයේ අභියෝගවලට විසඳුම් සොයන බවද එම අමාත්‍යාංශ්‍ය පෙන්වා දෙයි.

මේ කමිටුව එක්සත් ජාතීන්ගේ නිරායුධකරණ කොමිසම සහ ජිනීවා පදනම් වූ නිරායුධකරණය පිළිබඳ සමුළුව සමඟ සමීප සහයෝගයෙන් කටයුතු කළ අතර එක්සත් ජාතීන්ගේ පළමු කමිටුව අනිද්දා (03) සිය මූලික වැඩ කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.

ශ්‍රී ලංකාවේ හිටපු අගවිනිසුරුවරයකු වන ආචාර්ය මොහාන් පීරිස් මහතා පසුගිය 2021 වසරේ ජනවාරි මාසයේ සිට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිව්යෝර්ක්හි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරයා වශයෙන් පත් කළ අතර, අගවිනිසුරුවරයා වශයෙන් පත් කිරීමට පෙර ශ්‍රී ලංකාවේ නීතිපති ධුරයද හෙබවීය.

තානාපති මොහාන් පීරිස් මහතාට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සහ නිරායුධකරණ ගැටලු ඇතුළුව එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ සහ ඒ තුළ කටයුතු කිරීමේ පුළුල් අත්දැකීම් හිමිය.

More articles

Latest article