33 C
Colombo
බදාදා, මැයි 31, 2023

මෛත්‍රී හා ෆොන්සේකා අතර උණුසුම් වචන හුවමාරුවක්

Must read

හමුදාපති හැටියට එයාට හමුදා මූලස්ථානයවත් බේරගන්න බැරි වුණා – හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

ජනාධිපතිවරිය ලෙස කටයුතු කළ වකවානුවේදී තම ඇස් දෙක පවා ආරක්ෂා කර ගැනීමට නොහැකි වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියට මෙන්ම හමුදාපතිවරයා ලෙස සිටියදී හමුදා මූලස්ථානය ආරක්ෂා කර ගැනීමට නොහැකි වූ සරත් ෆොන්සේකා වැනි අයට ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් තමන් වෙත චෝදනා කිරීමේ හැකියාවක් නැතැයි හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (18) ප්‍රකාශ කළේය.

තමන්ව සිරගත කරන ලෙස විවිධ අවස්ථාවලදී චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය මෙන්ම සරත් ෆොන්සේකා මහතා ද විවිධ ප්‍රකාශ සිදු කරන උදවියට තමන්ගේ ඇස්, තමන්ගේ ශරීරය ආරක්ෂා කර ගැනීමට නොහැකි වූ බවද මෛත්‍රීපාල සිරිසේන මහතා කීය.

මෙතුමා කියනවා, එතුමාට ෆීල්ඩ් මාර්ෂල් කම දුන්නලු. ෆීල්ඩ් මාර්ෂල් කම දෙන්න ලෝක සම්මතතයක් තිබෙනවා. ඒකවත් නොසිතා තමයි මම ඒ තනතුර එතුමාට දුන්නේ. මෙතුමා ෆීල්ඩ් මාෂල්කම ඉල්ලගෙන මගේ පස්සෙන් ඇවිත් ඇඬුවා. මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා තමන් සම්බන්ධයෙන් මතු කළ කරුණකට පිළිතුරු දෙමිනි.

මෙහිදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා අතර අද (18) පාර්ලිමේන්තුවේදී දැඩි මත ගැටුමක් ද ඇති විය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේ තමන් වෙත නියම වී ඇති වන්දි මුදල ගෙවීම වෙනුවෙන් පිටකොටුවේ කැට සොලවා හෝ ලබා දෙන මුදල් තමන් ලබා ගන්නා බවයි. තමන්ට වන්දිය ගෙවීමට මුදල් නොමැති බැවින් එලෙස දෙන මුදල් ලබා ගන්නා බවද මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

හිටපු හමුදාපතිතුමා මාව ඉලක්ක කරගෙන ප්‍රකාශයක් කළා. මාව ඉලක්ක කරගෙන පිටකොටුවේ සල්ලි හොල්ලනවා නම් කවුරු හරි ඒ දුන්නත් මම ගන්නවා. මට නැති නිසා. පහුගිය දවස් ටිකේම මාව හිරේ දාන්න ඕන කියලා පහුගිය දවස් ටිකේම කිය කියා ගියේ මේ අය තමයි. කරුණාකරලා නඩු තීන්දුව කියවන්න කියලා මම එතුමාට කියනවා, නඩු තීන්දුවේ පැහැදිලිව සඳහන් වෙනවා. හිටපු ජනාධිපතිවරයාට මේ පිළිබඳව තොරතුරු දැනුම් දී නැති බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී තිබෙනවා.

හිරේ හිටපු තමුන්නාන්සේව මම තමයි නිදොස් කොට නිදහස් කෙරුවේ. තමුන්නාන්සේට ගරු කිරීමක් විදිහට මම තමයි තමුන්නාන්සේව ෆීල්ඩ් මාර්ෂල් කළේ. ඒ තත්ත්වය තුළ සිටියදී මට මේ විදිහට කතා කිරීම ඉතාම අසාධාරණයි. ඔබතුමාට කොහෙත්ම පුළුවන්කමක් නැහැ මට ඉලක්ක කරලා ජාතික ආරක්ෂාව ගැන කියන්න.

ඔබතුමා හමුදාපති ලෙස ඉන්නකොට හමුදා මූලස්ථානයට පැනපු එල්ටීටීඊ කාන්තාවක් බෝම්බ පුපුරවා හැරියා. ඔබතුමාට ඒක වැදිලා බඩවැලුත් එළියට ඇවිල්ලා වෛද්‍යවරු තමයි බේරගත්තේ’ යැයි ද කීවේය.

කැට තියාගෙන පිටකොටුවේ ඉන්න ඕන අය ජනපතිකමට ගැළපෙන්නේ නෑ – ෆීල්ඩ් මාර්ෂල්, පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා

කැට තියාගෙන පිටකොටුවේ ඉන්න ඕන මිනිස්සු ජනාධිපති ධුරයට පත්කළ විට ප්‍රශ්නවලට මුහුණ දීමට රටට සිදු වන බව ෆීල්ඩ් මාර්ෂල්, පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (18) පැවසීය.

ආරක්ෂක කවුන්සිලය තැබිය යුතු ආකාරය ගැනවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැන නොසිට ඇතැයි ද හෙතෙම කීවේය.

පුනරුත්ථාපන කාර්යාංශය පනත් කෙටුම්පත දෙවැනි වර කියැවීමේ විවාදය අතරතුර මෛත්‍රීපාල සිරිසේන මහතා අතර දැඩි වචන හුවමාරුවක් ඇති විය. එහිදී ෆොන්සේකා මහතා මේ බව සඳහන් කළේය.

දින 50 ආණ්ඩුව කාලේ ජනාධිපතිවරයා විවේචනය කළ හෙයින් තමන්ට හිමිව තිබූ ආරක්ෂක ඇමැති ධුරය නොදුන් බව ද ඒ මහතා කීවේය.

“හිටපු ජනාධිපතිවරයාට මිලියන 100ක් ගෙවන්න සිදු වුණා. දැන් කියනවා කැටයක් තියාගෙන පිටකොටුවේ ඉන්නවා කියලා. කැට තියාගෙන පිටකොටුවේ ඉන්න ඕන මිනිස්සු ජනාධිපති කළාම මෙවැනි ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙනවා. ආරක්ෂක කවුන්සිලය හරියට තියන්න ඕන කියලා දැනගෙන හිටියේ නැතිලු; එය තියෙන්න ඕන හදිසිනීතිය තියෙන කොට විතරයි කියලලු. ඒත් හදිසිනීතිය ගෙනඑන්න ආරක්ෂක කවුන්සිලය තියෙන්න ඕන. මේ වැරැදි කරපු මිනිස්සු රට ගැන හිතලා දැන්වත් ගෙදර යන්න ඕන.

More articles

Latest article