26 C
Colombo
බදාදා, අප්‍රේල් 24, 2024

මැතිවරණ කොමිසම ගණපූරණය නැතිව ගන්නා කිසිම තීරණයක් වලංගු නෑ – ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා

Must read

මැතිවරණ කොමිසම ගණපූරණය නොමැතිව ගන්නා කිසිම තීරණයක් වලංගු නොවන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු සභාපති ආචාර්ය ප්‍රතිභා මහානාම හේවා මහතා පැවසීය.

පළාත් පාලන මැතිවරණය මාර්තු 9 දා පැවැත්වෙන බවට මැතිවරණ කොමිසම මාධ්‍ය නිවේදන නිකුත් කළත් තවමත් මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කර ගැසට් නිවේදනය නිකුත් කර නැතැයිද මහානාම හේවා මහතා සඳහන් කළේය.

එලෙස ගැසට් නිවේදනය නිකුත් කළා නම් මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරීමට කොමිසමේ සාමාජිකයන් කී දෙනෙක් කැමැත්ත දුන්නා දැයි ජනතාවට නිවැරැදි අවබෝධයක් ලබා ගැනීමට හැකියාව ලැබෙන බවත් ඒ මහතා සඳහන් කළේය.

මැතිවරණ නීතිය අනුව කළ යුත්තේ මැතිවරණ දිනය මාධ්‍යයට ප්‍රකාශ කිරීම නොව එය ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කිරීම බවද මහානාම හේවා මහතා කීය.

21වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කර ලබන බදාදා(25) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස් වෙන පසුබිම යටතේ මැතිවරණ කොමිෂන් සභාව ද සිටිනුයේ අන්තරාභවයක් වැනි තත්ත්වයක බව කී ආචාර්ය ප්‍රතිභා මහානාම හේවා මහතා මෙවැනි තත්වයක් යටතේ අනිවාර්යයෙන්ම ගැසට් නිවේදනය නිකුත් කළ යුතුව තිබෙන බව සඳහන් කළේය.

පළාත් පාලන ආයතන සඳහා නාමයෝජනා කැඳවීමේ ගැසට් පත්‍රයේ මැතිවරණ කොමිසමේ සාමාජිකයන් පස් දෙනාගේම නම් සඳහන්ව තිබුණු අතර මැතිවරණයට දින නියම කිරීම සඳහා ද එවැනිම පියවරක් අනුගමනය කළ යුතුව ඇතැයි ප්‍රතිභා මහානාම හේවා මහතා කීය.

ඡන්ද දිනය තීරණය කිරීම වැනි වැදගත් වැඩකට මුළු කොමිසමම අවශ්‍ය වන බව කී මහානාම හේවා මහතා මැතිවරණය පවත්වන දිනය ගැසට් මගින් ප්‍රකාශයට නොකිරීමෙන් වක්‍රව ප්‍රකාශ කෙරෙන්නේ කුමක්දැයි ප්‍රශ්න කළේය.

More articles

Latest article