31 C
Colombo
සෙනසුරාදා, අප්‍රේල් 27, 2024

තර්ජන කළ මැරයන් මර්චන්ට් ටවර් ගොඩනැගි ල්ලට ආවේ කාගේ අවසරයෙන්ද? – මොහාන් සමරනායක

Must read

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සාමාජිකයන් වූ අපට මැර තර්ජන ආවේ කොහොමද? කොහොමද මේ පිරිස මර්චන්ට් ටවර් ගොඩනැඟිල්ලට ආවේ යැයි එහි සාමාජික මොහාන් සමරනායක මහතා ප්‍රශ්න කරයි. සමහර මාධ්‍යවල අපට තර්ජනය කළ අයව හඳුන්වා තිබුණේ සිවිල් සමාජ ක්‍රියාකාරීන් කියායි. මම දන්න විදියට සිවිල් සමාජ ක්‍රියාකාරීන් කියන්නේ නැහැ අපි ඔයාගේ ගේ හොයාගෙන එනවා කියා. ගේ හොයාගෙන එනවා කියන එකේ අර්ථය සිහිපත් කරගන්න ඕන 2022 මැයි මාසේ 09 වැනිදා මතක් කරලා බවද සමරනායක මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (25) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවේදීය.

විදුලි බිල වැඩි කිරීමට කොමිෂන් සභාවේ සභාපතිවරයා එකඟ නැති බවත් අනෙකුත් සාමාජිකයන් එකඟ බවටත් ජනතාව මතයක් පැතුරුවද කැබිනට්ටුවට යැවූ ලිපියේ සඳහන් කර ඇත්තේ විදුලි බිල වැඩි කිරීමට අපේ අකමැත්තක් නැත යනුවෙන් යැයි සඳහන් කළේය.

මේ වන විට විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ඇති වී ඇති ගැටලුකාරී තත්ත්වයට නීතිපතිවරයාගෙන් විමසීමට අදාළ ලිපිය සකසා අවසන් බවද හෙතෙම සඳහන් කළේය. ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ පනත්වලට අනුව එහි සභාපතිවරයාට උප සභාපතිවරයා පත් කිරීම, විශේෂ රැස්වීම් කැඳවීම ඇතුළු කාරණා පැවරී ඇති නමුත් සුවිශේෂී බලතල පැවරී නැති අතර යම් කරුණක් සම්බන්ධයෙන් තීරණයකට එළැඹීමේදී සියලු සාමාජිකයන්ගේ කැමැත්ත හෝ බහුතර කැමැත්ත අවශ්‍ය වන්නේ යැයිද ඒ මහතා සඳහන් කළේය.

ජනවාරි මස 11 වැනි දින විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් පනතේ විධිවිධාන අනුව අවශ්‍ය නිර්දේශ ගැනීමට ක්‍රියා කරන ලෙසත් එම ගන්නා ක්‍රියාමාර්ග පෙබරවාරි 15 දිනට පෙර තමන් වෙත දන්වන ලෙසත් කැබිනට් මණ්ඩලයෙන් කොමිෂන් සභාවට ලිපියක් ලැබුණු බව සමරනායක මහතා සඳහන් කළේය.

එම ලිපියෙන් ඉල්ලා තිබුණේ මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ නිර්දේශ ලැබෙන තෙක් 2023 ජනවාරි 01 දින සිට විදුලි අතුරු ගාස්තු වැඩි කිරීමකට අවසර ලබාදෙන ලෙසත්, වසරකට දෙවරක් විදුලි ගාස්තු වැඩි කිරීමකට අවසර ලබාදෙන ලෙසත්ය.

කොමිෂන් සභාව ජනවාරි 12 දින රැස්වීමෙන් පසු කැබිනට් මණ්ඩලයට යැවූ ලිපිය කොමිෂන් සභාවේ අනෙකුත් සාමාජිකයන්ට සභාපතිවරයා නොපෙන්වූ බවත් ඔවුන්ගේ අනුමැතිය නොගත් බවත් සඳහන් කළේය. පසුව ජනවාරි 19 දින ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවේදී තමන්ට නොපෙන්වා යැවූ එම ලිපියේ යම් යම් සංශෝධනයන් කිරීමට කොමිෂන් සභාවේ අනෙකුත් සාමාජිකයන් තීරණය කළ බවද ඒ මහතා පැවසීය.මේ වන විට උසස් පෙළ විභාගය පැවැත්වෙන බැවින් සිසු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියද ලංකා විදුලිබල මණ්ඩලය පවසන්නේ එලෙස අඛණ්ඩ විදුලි සැපයුමක් ලබා දීමට රුපියල් බිලියන ගණනක වියදමක් යන බවත් එයට මුදල් සපයා ගැනීමට අපහසුතාවක් තිබෙන බවත් ප්‍රකාශක කර ඇතැයිද සමරනායක මහතා සඳහන් කළේය.

විදුලි ගාස්තු වැඩි කිරීමක් සිදු කිරීමෙන් පසු අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීමේ හැකියාවක් ඇති බවද අමාත්‍යවරයා පවසා ඇතැයිද සමරනායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

More articles

Latest article