29 C
Colombo
සඳුදා, මැයි 27, 2024

ආණ්ඩුවක සාමූහික වගකීම පළුදු වීම අන්තර්ජාතික විශ්වාසයට හානියක්

Must read

ආණ්ඩුවක තිබෙන සාමූහික වගකීමෙන් ඇතැම් පිරිස් බැහැර වීම නිසා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අන්තර්ජාතික විශ්වාසය පළුදු වීමේ අවදානමක් මතුව අති බව විදේශ කටයුතු අැමැති, මහාචාර්ය ජී .එල්. පීරිස් මහතා පැවසීය .

ඒ මහතා මේ බව සඳහන් කෙළේ කොළඹ, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය ජී. එල්. පිරිස් මහතා මෙසේද පැවසීය.

“ගිය සතියේ බ්‍රිතාන්‍ය සමඟ පැවැත්වූ රාජතාන්ත්‍රික සාකච්ඡා තුළින් බ්‍රිතාන්‍යයෙන් වඩා හොඳ ආයෝජනයන් අපේ රටට ලබා ගැනීමට හැකියාව තිබෙන බව පැහැදිලිව පෙනී ගියා. ආයෝජන පමණක් නොවේ වෙළෙඳ සම්බන්ධතා අපනයන පිළිබඳව රටවල් දෙක අතර සම්බන්ධතා පුළුල් කර ගැනීම තහවුරු කරගත හැකිව තිබෙනවා. මහා බ්‍රිතාන්‍ය යුරෝපීය සංවිධානයෙන් ඉවත් වීමෙන් අනතුරුව බ්‍රිතාන්‍යයට අවශ්‍ය වෙලා තිබෙනවා නව වෙළෙඳ පොළ සොයා ගැනීමට. අලුත් සම්බන්ධතා වර්ධනය කර ගැනීමට ඔවුන්ට අවශ්‍යයි. ඒ නිසාම පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල් පිළිබඳව ඔවුන්ගේ විශේෂ අවධානයක් යොමු වෙලා තිබෙනවා. පොදු රාජ්‍ය මණ්ඩලය තුළ ශ්‍රී ලංකාව පිළිබඳව විශේෂ උනන්දුවක් බ්‍රිතාන්‍ය දක්වන බව පැහැදිලි වෙනවා.බ්‍රිතාන්‍යයේ වෙළෙඳ ඇමැතිනිය සහ ලංකාව පිළිබඳ වෙළෙඳ කටයුතු සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ අගමැතිවරයා පත් කර තිබෙන වෙළෙඳ සාමිවරයා සමඟ මම සාකච්ඡා පැවැත්වූවා. ඒ සාකච්ඡාවලින් පිළිබිඹු වන කාරණයක් වන්නේ සාධක කිහිපයක් නිසා ශ්‍රී ලංකාව පිළිබඳ බ්‍රිතාන්‍ය රජය අවධානය යොමු කර ඇති බවයි. බොහොම විස්තර සහිතව හොයලා බලලා ඒ වෙළෙඳ කටයුතු පුළුල් කර ගැනීමට ප්‍රායෝගික වැඩපිළිවෙළක් සකස් කිරීමට බ්‍රිතාන්‍ය රජය ඉදිරිපත් වෙලා තියෙනවා. අපේ රටට ගැන අවධානය යොමු වූ එක කරුණක් වන්නේ ශ්‍රී ලංකාවේ භූගෝලීය ශාස්ත්‍රිය පිහිටීම. ඊට අමතරව තවත් වැදගත් කරුණු කිහිපයක් තිබෙනවා.

අද ලෝකයේ සමස්ත ජනගහනයෙන් හරි අඩකට පමණ කොවිඩ් 19 රෝගයට දෙන එක එන්නතක් වත් ලැබිලා නැහැ. සමහර රටවල් අපිට කිව්වේ ජනගහනයෙන් 4 % ,කට වත් පළමු වැනි මාත්‍රාව දෙන්න පුළුවන් තත්ත්වයක් තිබුණේ නැහැ කියලයි. ඊට හාත්පසින්ම වෙනස් තත්ත්වයක් ශ්‍රී ලංකාවේ තිබෙනවා. අවුරුදු 30ට වැඩි ජනගහනයෙන් සියයට අනූවකට පමණ එන්නත් දෙකම අපි ලබා දීලා තියෙනවා. දැන් අපි අවධානය යොමු කරනවා අවුරුදු දහ අටයි තිහයි අතර තරුණ පිරිස සහ තෝරාගත් කණ්ඩායම්වලට තුන් වැනි මාත්‍රාව ලබා දීම පිළිබඳව. පාසල් දරුවන්ට එන්නත ලබාදීම සම්බන්ධයෙන් ප්‍රායෝගික වැඩපිළිවෙළක් සකස් කරමින් තිබෙනවා.

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන මට්ටම පිළිබඳව බ්‍රිතාන්‍යට හොඳ පැහැදීමක් තිබෙනවා. ඒ නිසා ආයෝජන වලට, වෙළෙඳ කටයුතුවලට හොඳ ස්ථාවරයක් මේ රටේ පවතිනවා කියන එක ඔවුන් තේරුම් අරන් තියෙනවා.

කොවිඩ් 19 පාලනය කිරීමට හැකිවීම සහ රටේ පවතින උසස් අධ්‍යාපන තත්ත්වය මෙයට මූලික හේතුවක්. බ්‍රිතාන්‍ය සමාගම්වලට ශ්‍රී ලංකාවේ අවුරුදු දෙසීයක පමණ ඉතිහාසයක් තිබෙනවා. ඒ නිසා මේ රටේ වෙළෙඳ කටයුතු කිරීම ඒගොල්ලන්ට හුරු හුරුපුරුදු දෙයක්. මේ සියලු සාධක පිළිබඳව සලකා බලා අද තිබෙන විශේෂ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගැනීම ශ්‍රී ලංකා ආර්ථිකය සම්බන්ධයෙන් ඉතාමත් වැදගත්. මෙය සාර්ථක කිරීම සඳහා අවශ්‍ය දේ තමයි විශ්වාසය දිනා ගැනීම. ජාත්‍යන්තරයේ විශ්වාසය දිනාගැනීම අත්‍යවශ්‍යයි. ලංකාවේ ආර්ථික සංවර්ධනය ඇති කිරීම සඳහා වඩ වඩා ආයෝජන සහ වෙළෙඳ අවස්ථා ලබා ගත යුතුයි.ඒ සඳහා විශ්වාසය තමයි ප්‍රධාන සාධකය වන්නේ.

අද අපේ රටේ තිබෙන්නේ සන්ධාන ආණ්ඩුවක්. මෙය ඉතාමත් ප්‍රබල සන්ධාන ආණ්ඩුවක්. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් තිබෙන සන්ධාන ආණ්ඩුව. සන්ධාන ආණ්ඩුව ස්වභාවය තමයි ඒ තුළ ක්‍රියාත්මක වන්නේ. ඒ ඒ දේශපාලන පක්ෂවලට වෙන වෙනම අනන්‍ය වූ දර්ශනයක් හා ප්‍රතිපත්තියක් තියෙනවා. ඒ නිසා සියලුම කරුණු සම්බන්ධයෙන් එකඟත්වයකට පැමිණීමට සියලුම දේශපාලන පක්ෂෙවලට නොහැකි වන තත්වයක් දැක ගන්න පුළුවන්.

ඒක ස්වභාවිකයි. ඒක ජීවමාන ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක අවශ්‍ය ලක්ෂණයක්. නමුත් මේක ආණ්ඩුවක්.

ආණ්ඩුවකට තියෙන්න ඕනේ එක්ක ප්‍රතිපත්තියක්.මත වාද කිහිපයක සිටින පිරිස එකතු වෙලා අභ්‍යන්තර සාකච්ඡා තුළින් එක ප්‍රතිපත්තියකට පැමිණිය යුතුයි.

බුද්ධ ධර්මයේ අඩංගු ඉතාමත් වැදගත් සිද්ධාන්තයක් තමයි ගෙදර ගිනි එලියට දෙන්න එපා එළියේ ගිනි ගෙදර ගෙනියන්න එපා කියන එක. එය බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කැපී පෙනෙන අවවාදයක්. එහෙනම් ප්‍රශ්න විසඳා ගැනීමට අවශ්‍ය වන්නේ සියලුම කොටස් කරුවන් සහ පාර්ශ්වකරුවන් එකතු වෙලා සාකච්ඡා කරල එක තැනකට එන එකයි. එක තැනකට ආවට පස්සෙ රජයේ කොටස්කරුවන් වන සියලු දෙනා එම නිගමන පිළිගත යුතුයි. සමස්ත රජයේ පොදු ප්‍රතිපත්තියක් ලෙස එය ක්‍රියාත්මක විය යුතුයි.එක ආණ්ඩුවක් තුළ ආණ්ඩු හතර පහක් තියෙන්න බැහැ. ආණ්ඩුව තුළ විරුද්ධ පක්ෂයක් තියෙන්නත් බැහැ. පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය තියෙනවා. විරුද්ධ පක්ෂය තියෙනවා. නමුත් ආණ්ඩුව තුළ විරුද්ධ පක්ෂයක් බිහිවෙලා ක්‍රියාත්මක වීම සම්පූර්ණ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සහ අපේ ක්‍රමවේදය විකෘති කිරීමක්. එම නිසා සාකච්ඡාවලින් පසුව පොදු තැනකට ආවාම එම තීරණ ජනප්‍රිය වුණත් නොවුණත් ඒ තීරණ සම්බන්ධයෙන් සියලු දෙනා එක ලෙස පෙනී සිටීම අත්‍යවශ්‍ය වෙනවා. සමහර විට ආණ්ඩුවකට සිද්ධ වෙනවා අකමැත්තෙන් වුණත් ජනප්‍රිය නොවන තීරණ ගැනීමට. එවන් අවස්ථාවක සාමූහික වගකීම රැකගෙන මූලික ප්‍රතිපත්තිය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කළ යුතුයි. ඒ පිළිබඳ තැකීමක් නැත්නම් ඒකෙන් බැහැර වුණොත් මේ රටේ ජනතාව තුළ අවිනිශ්චිත හැඟීම ඇති වෙනවා.ඒ පමණක් නොවෙයි ජාත්‍යන්තරයේ අපේ රට ගැන තිබෙන විශ්වාසය පලුදු වීමේ අවදානමක් තිබෙනවා. සාමූහික වගකීමෙන් බැහැර වන ඒක අවදානම්. අනික තමයි අප මතක තබා ගත යුතු වන්නේ මේ ආණ්ඩුව බිහිවුණේ එක්තරා වාතාවරණයක් තුළ. ජාත්‍යන්තරයෙන් ඉස්මතු වුණ බොහොම ප්‍රබල අපි අභියෝග මධ්‍යයේ තමයි මේ ආණ්ඩුව බලයට පත්වුණේ. ඉතිහාසයේ කවදාවත් නොවුන දෙයක් තමයි රටක් තමන්ගේම රටට විරුද්ධව ජාත්‍යන්තරයට යෝජනාවක් ඉදිරිපත් කිරීම. නමුත් අන්තර්ජාතික සංවිධාන බල සහයෝගයෙන් ඒක අපේ රටේ සිද්ධ වුණා. 2015 යහපාලන ආණ්ඩුව ජිනීවා මානව හිමිකම් කවුන්සලයට අපේ රටට ,අපේ ත්‍රිවිධ හමුදාවට විරුද්ධව යෝජනා ඉදිරිපත් කළා.මේ උපද්‍රවයෙන් අපේ රට ගලවාගෙන ශ්‍රී ලංකාවේ ආත්ම ගරුත්වය හා ස්වාධීපත්ය රැක ගැනීම සඳහා විවිධ බලවේග යටපත් කරල 2019 සහ 2020 මැතිවරණවලදී ජනතාව ඡන්දය දුන්නා. ජීවිතයට ඡන්දය පාවිච්චි නොකළ ආරණ්‍යගත ස්වාමීන් වහන්සේලා වනාන්තර වලින් එළියට ඇවිල්ලා ඡන්ද පොළට ගිහිල්ලා ඡන්දය දුන්නා.මේක සුවිශේෂී සිද්ධියක්. අපි පිළිගත යුතු සත්‍යයක් තමයි ඇතැම් අවස්ථාවල දී ආණ්ඩුවක් හැදීමට වඩා ආණ්ඩුව රැක ගැනීම අසීරු කටයුත්තක් බව.ඒ නිසා තමයි මම මේ තත්ත්වය පිළිබඳව මහනුවර මල්වතු හා අස්ගිරි පාර්ශ්වයේ මහා නායක හිමිවරු දැනුවත් කෙළේ.

මම උන්වහන්සේලාගේන් ඉල්ලා සිටියේ අපේ රට තීරණාත්මක සන්ධිස්ථානයකට පැමිණ තිබෙන මේ අවස්ථාවේදී මහා සංඝරත්නය විශේෂ අවධානයක් යොමු කළ යුතු බවයි.

මහා සංඝරත්නය විශාල කර්තව්‍යයක් ඉෂ්ට කළා මේ ආණ්ඩුව බිහි කිරීමට. ඒ ගැන කිසිම සැකයක් නැහැ. එලෙස අමාරුවෙන් හදාගත්ත ආණ්ඩුව ආරක්ෂා කර ගැනීමට මැදිහත්වීමට සංඝරත්නයට විශේෂ වගකීමක් තිබෙනවා. ඔවුන්ගේ මාර්ගෝපදේශය දර්ශනය මේ අවස්ථාවේදී අතිශයින් වැදගත් වෙනවා.”

පාර්ලිමේන්තු මන්ත්‍රී, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මහ ලේකම් නිතිඥ සාගර කාරියවසම් මහතා-

“මේ දිනවල බොහොම තදින් විපක්ෂ කතා කරන කාරණයක් වෙලා තියෙන්නේ බඩු මිල ඉහළ යෑම කියන කාරණය. ඊයේ ප්‍රවෘත්තිවල මම දැක්කා විපක්ෂ නායකතුමා බොහෝම රස කර කර බඩු මිල ඉහළ යන ආකාරය ගැන කියපු විදිහ. අපි උගත් බුද්ධිමත් විපක්ෂ නායකවරයකු ගෙන් බලාපොරොත්තු වෙන්නේ නැති තත්ත්වයකට එතුමා කතා කිරීම සම්බන්ධයෙන් කනගාටු විය යුතුයි. මෙවැනි ලෝක ව්‍යවසන තත්ත්වයක ඉන්න අපේ කලාපයේ අනෙක් රටවල් සමඟ සන්සන්දනය කරල බැලුවත් ලෝකයේ වෙනත් රටවල්වලට සාපේක්ෂව බැලුවත් අපි ඉතාම හොඳින් සියලු කාරණා මේ වන විටත් කළමනාකරණය කර ගෙන යනවා. භාණ්ඩ මිල ඉහළ යෑම මේ අවස්ථාවේදී අපට විතරක් විශේෂ වුණ දෙයක් නොවෙයි. මේක මුළු මහත් ලෝකයට ම පවතින තත්ත්වයක්. අන්තර්ජාලය භාවිතා කරන ඕනෑම කෙනකුට මේ පිළිබඳව හොඳ අවබෝධයක් තිබෙනවා. ලෝකයේ පසුගිය දශකය තුළ වැඩිම බඩු මිල ඉහළ යෑමේ තත්ත්වය තමයි ලෝක වෙළෙඳ පොළේ මේ වෙන කොට දකින්නට ලැබෙන්නේ. මේ වගේ තත්ත්වයක් තුළ විපක්ෂය මේ ගෙනි යන වැඩපිළිවෙළ මේ රට වැරදි තැනකට තල්ලු කරල වැරදි මතයක් ජනතාව අතර ඇති කිරීම පිළිබඳව කනගාටු වෙනවා.

ඒ වගේම විශේෂයෙන් කියන්න අවශ්‍යයි ලංකාවේ තරුණ තරුණියෝ විශාල වශයෙන් විදේශ ගත වෙන්න උත්සාහ කරනවා කියලා පසුගිය දවස්වල බොළඳ ආස්වාදයක් ලබා ගන්න සමහර අය උත්සහ කරනවා දැක්කා. ලංකාවේ තරුණ පරපුර මුලින්ම විදේශ ගත වුණේ 88, 89 කාලයේ ජනතා විමුක්ති පෙරමුණ ඇති කරපු කැරැල්ල නිසා.ඊලඟට මේ රටේ තරුණ පරපුර විදේශ ගත වෙන්න කටයුතු කළේ එල්ටීටීඊ සංවිධානය මේ රටේ ඇති කරපු යුධමය තත්ත්වය නිසා.

බුද්ධි ගලනය නතර කරලා තරුණ පරපුර විදේශ ගත වීම නතර කරන්න මුලින්ම අත්තිවාරම දැමීමේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා.ඒ කාලයේ තමයි බුද්ධි ගලනය නවත්තලා තරුණ තරුණියෝ රට යන එක අඩු කළේ. වෙනත් රටවල හිටපු බොහෝ විද්වතුන් නැවත මේ රටට ගේන්න එතුමා කටයුතු කළා. නැවත වතාවක් දියුණු වෙමින් හරිමගට යමින් ලස්සනට හැදෙමින් තිබුණ රට විනාශ කළේ මේ රටේ ජාතික ආරක්ෂාව නැති කලේ පාස්කු බෝම්බ ප්‍රහාරය ඇති වෙන්න ඉඩ හැරලා රට විනාශ කළේ සජිත් ප්‍රේමදාස මැතිතුමා ප්‍රමුඛ, විපක්ෂය ආණ්ඩු කරන කාලයේ.

ඒ වගේම කාලයක් තිස්සේ විදේශගත වෙන්න බලාගෙන හිටපු අය එකපාර අවස්ථාවක් ලැබුණාම පොඩි තදබදයක් තියෙනවා. ඒ පිළිබඳව බොරු කතා හදලා මේ ආණ්ඩුවට මඩ ගහන්න හදනවා. රටේ ජනතාවට ආඩම්බරයෙන් කියන්නේ මේ රටේ බුද්ධි ගලනය නතර කළේ අපේ ආණ්ඩුව. මේ රටේ බුද්ධි ගලනය ඇති කරලා රට අතහැරලා දාලා යන තැනට වැඩ සිද්ධ කළේ හැම විටම එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ආණ්ඩු බව කිවයුතුයි.”

More articles

Latest article