25 C
Colombo
සඳුදා, මැයි 20, 2024

මහා භාරකාරයා සතු දේපළ අනීතිකව අවභාවිත වී ඇති බව 2021 විගණනයෙන් අනාවරණය වෙයි

Must read

2019 දෙසැම්බර් 31 වැනි දින වන විටත් සක්‍රිය මට්ටමේ පවතින බූදල් 110ක්, භාර 1112ක්, විදේශ වන්දි 239ක් හා විහාර වන්දි 491ක් මහා භාරකාර දෙපාර්තමේන්තුවේ සේප්පුවල සහ අධිකරණවල තැන්පත් කර තිබෙන බව 2021 මුල් භාගයේදී සිදු කළ විගණන විමසුමකදී හෙළි වී තිබේ.

එමෙන්ම 1931 සිට 2019 දෙසැම්බර් 31 වැනි දින තෙක් විවෘත නොකරන ලද බූදල් හිමිකරුවන්ගේ අන්තිම කැමැති පත්‍ර 386ක් ද මහා භාරකාර දෙපාර්තමේන්තුවේ සේප්පුවල රඳවා තිබෙන බව ද එම විගණනයෙන් අනාවරණය වේ.

වර්ෂ 1931 සිට 1992 දක්වා කාලය තුළ විවෘත නොකරන ලද අන්තිම කැමති පත්‍ර 254ක් ද 1992න් පසුව එම දෙපාර්තමේන්තුව වෙත ලැබුණු අන්තිම කැමති පත්‍ර 132ක් ද ඒ අතර වන බව විගණන වාර්තාවේ සඳහන් වේ.

මහා භාරකාර දෙපාර්තමේන්තුවේ විමර්ශන අංශයේ පැවති බූදල් 15ක නියැදියක් ඇසුරින් වත්කම් කළමනාකරණය, බූදල්වලට අදාළ දේපළ නිරවුල් කිරීම හා බූදල්වල අරමුණු ඉටු කිරීමේ කාර්යසාධනය සම්බන්ධයෙන් මේ විගණන විමසුම සිදු කර තිබේ.

එම දෙපාර්තමේන්තුවේ ආරක්ෂිත සේප්පුවේ තැන්පත් අන්තිම කැමති පත්‍ර විවෘත කිරීම හා ඒවා සම්බන්ධයෙන් නීතිමය කටයුතු සිදු කිරීම සඳහා ඩී.එස්.ඩබ්ලිව්. සමරකෝන් නමැති බූදලයෙන් 2018 වර්ෂයේදී රුපියල් 2,629,250ක් උපයෝජනය කර තිබීම හේතුවෙන් එකී බූදලයේ වත්කම් අවභාවිතාවක් සිදු වී ඇතැයි ද මේ විගණනයෙන් නිරීක්ෂණය කර ඇත.

එමෙන්ම එන්.ඩී.ඒ. සිල්වා විජේසිංහ නමැති බූදලය හර ශේෂයක්ව තිබියදීත් නීති වියදම් සඳහා 2017 වසරේදී රුපියල් 272,475කුත්, 2018 වසරේදී 1,181,500කුත් වැය කොට තිබෙන අතර එම මුදල සමරකෝන් බූදලය නමින් ලැබිය යුතු යැයි සටහන් කර නොතිබූ බව ද විගණන විමසුමේදී හෙළිව තිබේ.

තවද 2007 අප්‍රේල් 14 වැනි දින මියගිය ශ්‍රීමා ඉන්ද්‍රාණි ද සොයිසා වික්‍රමසිංහ නමැති අයගේ අන්තිම කැමැති පත්‍රය අනුව හයිලෙවල් පාර නුගේගොඩ අංක 151/බී දරන නිවෙස ධර්මවිජය පදනමට දීමට තිබුණ ද මහා භාරකාරවරයා විසින් 2009 වසරේ එවකට දෙපාර්තමේන්තුවේ සේවය කළ එක්තරා නිලධාරිනියකට අනීතික ලෙස ගිවිසුමකින් හෝ කුලී ගාස්තුවකින් තොරව පදිංචිය සඳහා දී ඇති බව ද මේ විගණන වාර්තාවේ දැක්වේ.

අදාළ නිලධාරිනිය 2015 ඔක්තෝබර් 16 වැනි දින ක්‍රීඩා අමාත්‍යාංශයේ සේවයට මහා භාරකාර දෙපාර්තමේන්තුවෙන් නිදහස් කර තිබුණ ද එලෙස සේවයෙන් නිදහස් කිරීමට පෙර ඉහත කී දේපොළ යළි අත්පත් කර ගැනීමට කටයුතු කර නොතිබූ බව ද මේ විගණනයෙන් හෙළි වේ.

එසේම ඉහත කී බූදලය සතු අංක 300 – 5220 දරන නිසාන් මාච් වර්ගයේ මෝටර් රථය විකුණා ලැබෙන මුදල්, ස්වර්ණාභරණ හා අනෙකුත් ආයෝජනයන්ද ධර්මවිජය පදනමට දෙන ලෙසට අන්තිම කැමැති පත්‍රයේ සඳහන් කර තිබුණ ද එකී මෝටර් රථය විකුණා ලද රුපියල් 700,800ක මුදල 2016 ජනවාරි 01 දින සිට ස්ථාවර තැන්පතු ගිණුමකට බැර කොට මහා භාරකාර දෙපාර්තමේන්තුව තුළ රඳවාගෙන තිබූ බව ද අනාවරණය වී තිබේ.

තවද මහා භාරකාරවරයා විසින් කළමනාකරණය කරනු ලබන වතු දේපළ 10ක ආදායම් පිළිබඳව ද මේ විගණනයෙන් පරීක්ෂා කර තිබෙන අතර එම වතු දේපළ තුළින් 2016, 2017 හා 2018 වර්ෂවල පිළිවෙළින් රු. 3,744,310ක්, රු. 9,336,629ක්, රු. 3,984, 175ක් වශයෙන් රුපියල් 17,065,114ක ලාභයකුත් 2019 වර්ෂයේ දී රු. 6,222,482ක අලාභයකුත් ලබා ඇතැයි ද විගණන වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

More articles

Latest article