28.8 C
Colombo
ඉරිදා, මැයි 26, 2024

මත්තල ගුවන් තොට අන්තර්ජාතිකව ආකර්ෂණය කර ගැනීමට සහන රැසක්

Must read

මත්තල අන්තර්ජාතික ගුවන් තොටුපොළ විදේශීය සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමට ආණ්ඩුව පියවර ගෙන තිබේ.

ඒ සඳහා අන්තර්ජාතික ගුවන් සමාගම් මෙන්ම ව්‍යාපාරික ජෙට් යානා ආකර්ෂණය කර ගැනීමේ විශේෂ වැඩසටහනක් ආරම්භ කර ඇතැයි සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

මත්තල ගුවන් තොටුපොළට අන්තර්ජාතික ගුවන් සේවා ආකර්ෂණය කර ගැනීම සඳහා සහන රැසක් ලබා දී තිබෙන අතර ගුවන් තොටුපොළ අපනයන බද්ද වන අමෙරිකානු ඩොලර් 60ක මුදල වසර දෙකක් සඳහා ලබා ගැනීම අත්හිටුවා ඇති අතර ගොඩබෑමේ හා නැවතුම් ගාස්තුවලින් ද ගුවන් සමාගම් නිදහස් කර තිබේ.

ඉතා ධනවත් ව්‍යාපාරික පුද්ගලයන් ආකර්ෂණය කර ගැනීම මඟින් ව්‍යාපාරික ජෙට් යානා ගෙන්වා ගැනීම සඳහා ද සාකච්ඡා වට ගණනාවක් පවත්වා ඇතැයි ඇමැතිවරයා කියයි.

සංචාරකයන්ගේ පහසුව සඳහා තීරු බදු රහිත සාප්පු සංකීර්ණයක් පවත්වාගෙන යෑමට සැලසුම් කර ඇති අතර සන්නිවේදන සේවා හා බැංකු කවුන්ටර් පවත්වාගෙන යෑම සඳහා ද මේ වන විට අවසර දි තිබේ.

දැනටමත් මත්තල රාජපක්ෂ ගුවන් තොටුපොළට මාලදිවයින, කටාර්, එයාර් ඒෂියා යන ගුවන් සේවා සෘජු ගුවන් ගමන් සිදු කරයි. තවත් අන්තර්ජාතික ගුවන් සේවා රැසක්ම ලබන වසරේ දි මත්තල නව ගුවන් මෙහෙයුම් ආරම්භ කිරීමට කැමැත්ත පළකර තිබේ. ඔවුන් සමඟ මේ වනවිට සාකච්ඡා සිදු කෙරෙන බව ඇමැතිවරයා කියයි. සලාම් එයාර් ගුවන් සමාගම සිය භාණ්ඩ මෙහෙයුම් ආරම්භ කර ඇති අතර එමිරේට්ස් ගුවන් සමාගම ද ඉතා නුදුරේ දිම සිය භාණ්ඩ මෙහෙයුම් මත්තල ගුවන් තොටුපොළ තුළ ආරම්භ කිරිමට සැලසුම් කැර තිබේ.

මිට අමතරව මුහුදු නාවික කාර්යය මණ්ඩල මාරු විම සදහා කේන්ද්‍රස්ථානයක් ලෙස ද මත්තල ගුවන් තොටුපොළ දියුණු කිරීමට පියවර ගෙන තිබේ. කටාර් ගුවන් සමාගම හා එයාර් ඒෂියා ගුවන් සමාගම දැනටමත් සිය මෙහෙයුම් මත්තලට ක්‍රියාත්මක කරයි. 2020 පෙබරවාරි මාසයේ සිට ඉන්දියානු කළාපය වසා දැමීම නිසා මුහුදු කාර්යය මණ්ඩල මාරුවීම සඳහා මෙම මෙහෙයුම් ආරම්භ කළ බවත් ඇමැතිවරයා කියයි.

මේ අතර මත්තල ගුවන් තොටුපොළේ ගුවන් යානා නඩත්තු හා අලුත්වැඩියා කිරීම් පහසුකම් ස්ථාපිත කිරීමෙ කෙරෙහි ද රජය විශේෂ අවධානයක් යොමු කර තිබේ. ඒ අනුව විදේශ ආයෝජනයක් මඟින් හෝ ශ්‍රී ලංකා සමාගම සමඟ ඒකාබද්ධ ව්‍යාපාරායක් ලෙස එය ආරම්භ කිරිමට අපේක්ෂා කරන බවත් ඒ සම්බන්ධයෙන් ඉදිරි පියවර රැසක් ගෙන ඇති බවත් ඇමතිවරයා සදහන් කරයි.

මත්තල ගුවන්තොටුපොළ මේ වසරේ මුල් මාස 09ක කාලය තුළ ගුවන් යානා 518ක මෙහෙයුම් සිදුකර තිබේ. මගීන් 27,859කට පහසුකම් සලසා ඇත. හසුරුවා ඇති ගුවන් භාණ්ඩ සංඛ්‍යාව මෙට්‍රික් ටොන් 21.5කි. පෙර වසරේ මුල් මාස 09ට සාපේක්ෂව මගි මෙහෙයුම් 52%ක වැඩිවිමකි. භාණ්ඩ මෙහෙයුම් 106% ක වැඩිවීමක් බව ද ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දෙයි.

More articles

Latest article