25 C
Colombo
සඳුදා, මැයි 20, 2024

යටිතල පහසුකම් සංවර්ධනය මෙන්ම නීතියේ පාලනය ස්ථාපිත කිරීමත් වැදගත් – අමාත්‍ය අලි සබ්‍රි

Must read

අධිකරණ ක්ෂේත්‍ර ඉතිහාසයේ දැවැන්තම සංවර්ධන ව්‍යාපෘතියක් ලෙසින් කොළඹ අලුත්කඩේ ඉදි වන අධිකරණ පියස 2024 වසරේ අගෝස්තු මාසය වන විට ජනතා අයිතියට පත්කරන බව අධිකරණ ඇමැති, ජනාධිපති නීතිඥ එම්.යූ.එම්. අලි සබ්‍රි මහතා පැවසීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව අභිනවයෙන් ඉදි කරන ලද මාතර නව අධිකරණ සංකීර්ණය සහ වලස්මුල්ල නව දිසා මහේස්ත්‍රාත් අධිකරණ ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවන්ට එක්වෙමින් ඇමැතිවරයා එසේ කීවේය.

සංවර්ධිත රටක් ලෙස ඉදිරියට යෑමේදී යටිතල පහසුකම් සංවර්ධනය කරනවා සේම නීතියේ පාලනය සැමට සාධාරණ ස්ථාපිත කිරීම අතිශයින් වැදගත් වන බවත් ඒ වෙනුවෙන් රජයක් විදියට අප කැපවෙන බවත් අලි සබ්‍රි මහතා කියා සිටියේය.

මාතර නව අධිකරණ සංකීර්ණය ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 1286.5 ක මුදලක් වැය කර ඇති අතර, සිවිල් අභියාචන මහාධිකරණයක්, අපරාධ මහාධිකරණයක්, දිසා අධිකරණ 4ක්, මහෙස්ත්‍රාත් අධිකරණ 2ක් හා කම්කරු විනිශ්චය සභා එකකින් හා අනෙකුත් පොදු පහසුකම්වලින් සමන්විතව නව අධිකරණ සංකීර්ණය ඉදි කර ඇත.

වලස්මුල්ල නව අධිකරණ ගොඩනැගිල්ල ඉදිකිරීමට රුපියල් මිලියන 66.7ක මුදලක් වැය කර ඇති අතර, දිසා මහේස්ත්‍රාත් අධිකරණයකින් එය සමන්විත වෙයි.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා තාක්ෂණය ඔස්සේ මෙම විවෘත කිරීමේ උත්සව සඳහා සම්බන්ධ විය.

පීඩාවට පත් වන ජනතාවට පක්ෂ පාට භේදයෙන් තොරව යුක්තිය සාධාරණත්වය පතා යා හැකි එකම ස්ථානය අධිකරණය වන බැවින් අප සියලු දෙනාගේ අවසාන ඉලක්ය විය යුතු වන්නේ එම ජනතාවට යුක්තිය ඉටු කර ගැනීම සඳහා පිහිට වීම වන බව හෙතෙම ප්‍රකාශ කළේය.

අධිකරණයේ ස්වාධීනත්වය අධිකරණයේ අභිමානය ශක්තිමත් කළ යුතුව ඇති අතර එවිට නීතීයේ ආධිපත්‍යය ස්ථාපිතව අධිකරණයේ ස්වාධීනත්වය සුරක්ෂිත වන බව පැවැසූ ඇමැතිවරයා නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත නොවන්නේ නම් ප්‍රජාතන්ත්‍රවාදය පවත්වා ගෙන යා නොහැකි බව සඳහන් කළේය.

2019 වසර අවසන් වන විට මෙරට අධිකරණවල නඩු ලක්ෂ අටක් පමණ පැවති අතර එහෙත් එවැනි විශාල නඩු සංඛ්‍යාවක් විසදීම සදහා විනිසුරුවරුන් සිටින්නේ 335 ක් වැනි ප්‍රමාණයක් බවත්, ඒ හේතුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ සිට සියලු අධිකරණ සදහා විනිසුරුවරුන් සංඛ්‍යාව වැඩි කර නඩු ප්‍රමාදය අවම කිරීමට පියවර ගනිමින් සිටින බවත් ඒ මහතා කීවේය.

මෙරට ජනගහනය හා සැසදීමේදී දැනට සිටින විනිසුරුවරුන් සංඛ්‍යාව මිලියනයකට 15 දෙනකු පමණක් බවත් ඒ මහතා ජනාධිපතිවරයාගේ සෞභාග්‍යයේ දැක්ම සංවර්ධිත වැඩපිළිවෙළ යටතේ අධිකරණ ක්ෂේත්‍රය පිළිබඳ විශේෂ අවධානයක් යොමුව ඇති හෙයින් පසුගිය වසරේ අය වැය තුළින් ඉදිරි වසර තුන තුළ අධිකරණ පද්ධතියේ යටිතල පහසුකම් සංවර්ධනය නීති ප්‍රතිසංස්කරණ සිදු කිරීමට රුපියල් බිලියන 20 ක මුදලක් වෙන් කිරීම තුළින් එය මනාව පැහැදිලි වන බව අධිකරණ ඇමැතිවරයා කියා සිටියේය.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා – මාතර නව අධිකරණ සංකීර්ණය තුළින් මාතර ජනතාවට යුක්තියේ සාධාරණත්වය ඉටු කර ගැනීම වඩාත් පහසු වෙනවා. සියලු යටිතල පහසුකම්වලින් සපිරි නව අධිකරණ සංකීර්ණයක් දීම වෙනුවෙන් කටයුතු කළ සියලු දෙනාට කෘතඥතාවය පළ කර සිටිනවා. වත්මන් අධිකරණ ඇමැතිවරයා අධිකරණ ක්ෂේත්‍රයේ ප්‍රගමනය වෙනුවෙන් දක්වනු ලබන කැපවීම මැදිහත් පුරවැසියකු ලෙස බෙහෙවින් අගය කරනවා.

වාරිමාර්ග ඇමැති, අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය ඇමැති චමල් රාජපක්ෂ මහතා – මහ ජනතාවට ඇති වන ගැටලු කඩිනමින් විසඳා ගැනීම සඳහා අධිකරණ යටිතල පහසුකම් නවීන ලෝකයට ගැළපෙන පරිදි වැඩි දියුණු විය යුතුයි. වලස්මුල්ල නව අධිකරණ ගොඩනැගිල්ල ඉදි කරමින් එය අංග සම්පූර්ණ පහසුකම්වලින් යුතුව ඉදි කිරීමට මුලිකත්වය ගෙන කටයුතු කළ අධිකරණ ඇමැතිවරයා ඇතුළු සියලු දෙනාට ස්තූතිය පළ කරනවා. නව අධිකරණ සංකීර්ණය අධිකරණයේ පිහිට පතා පැමිණෙන මෙම ප්‍රදේශයේ ජනතාවට විශාල පහසුවක් වේවි.

ජනමාධ්‍ය ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා – මාතර නව අධිකරණ සංකීර්ණය අද දින විවෘත කිරීමට ලැබීම මාතර ජනතාව ලද විශාල භාග්‍යයක් කොට සලකනවා.

2013 වසරේදී වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එවකට නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් මෙම ව්‍යාපෘතිය සඳහා මුල්ගල තැබුවා. එවකට ජනාධිපති වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ මාතර නව නගර සැලැස්ම වැඩ පිළිවෙළ යටතේ මේ නව අධිකරණ සංකීර්ණයේ කටයුතු ආරම්භ වුවා. ඒ වෙනුවෙන් මහින්ද රාජපක්ෂ අගමැතිවරයා දුන් නායකත්වය කෘතවේදීව සිහිපත් කළ යුතුයි. පිඩාවට පත් වන අහිංසක ජනතාවට යුක්තියේ පිළිසරණ කඩිනමින් ලබා ගැනීම වෙනුවෙන් අධිකරණ ඇමැතිවරයා විසින් ගෙන යන වැඩ පිළිවෙළ අගය කරනවා. පසුගිය වසරක පමණ කාලය තුළ නව නීති සංශෝධන 60ක් පමණ සිදු කිරීමට කටයුතු කිරීම පිළිබඳ එතුමාට ස්තූතිවන්ත වෙනවා. මාතර නව අධිකරණ සංකීර්ණය නීතියේ යම් යම් බාධාවන් නිසා පීඩාවට පත්ව සිටින අහිංසක ජනතාවට යුක්තිය හා සාධාරණත්වය ඉටු කරනු ලබන ප්‍රදිපස්තම්භයක් වනු ඇතැයි අපේක්ෂා කරනවා.

මාතර නව අධිකරණ සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට රාජ්‍ය ඇමැති කංචන විජේසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන නිපුන රණවක, කරුණාදාස කොඩිතුවක්කු, වීරසුමන වීරසිංහ මහත්වරුන් ඇතුළු දේශපාලන නියෝජිතයන්, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ. මායාදුන්නෙ, අධිකරණ ඇමැතිවරයාගේ පෞද්ගලික ලේකම් නීතිඥ ජනක රණතුංග මහත්වරුන්, මාතර මහාධිකරණ විනිසුරුවරයා ප්‍රධාන විනිසුරුවරුන්, මාතර අධිකරණ නීතිඥ සංගමයේ සභාපති රානි රත්නායක මහත්මිය නීතිඥවරුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ. මාතර අධිකරණ සංකීර්ණයේ නීතිඥ සංගමය වෙනුවෙන් ඉදි කරනු ලබන නීතිඥවරුන්ගේ කාර්යාල සංකිර්ණයට මුල්ගල තැබීම ද මෙහිදි සිදු විය.

වලස්මුල්ල අධිකරණ ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට රාජ්‍ය ඇමැති ඩී.වී.චානක, පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් ගලප්පත්ති මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරුන්, විනිසුරුවරුන්, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ. මායාදුන්නෙ මහතා, අධිකරණ ඇමැතිවරයාගේ පෞද්ගලික ලේකම් නීතිඥ ජනක රණතුංග මහතා ඇතුළු අමාත්‍යාශ නිලධාරීන්, වලස්මුල්ල නීතිඥ සංගමයේ සභාපති නීතිඥ එච්.පී.ජී.සතරසිංහ මහතා ඇතුළු වලස්මුල්ල නීතිඥ සංගමයේ සාමාජිකයෝ එක්ව සිටියහ.

More articles

Latest article