27.5 C
Colombo
සිකුරාදා, අප්‍රේල් 19, 2024

කොළඹ සිට යාපනයට පැළ මිලියන 20ක් සිටුවීමේ ‘මාතා ව්‍යාපෘතිය’ ඇරඹෙයි

Must read

වර්තමානයේ අපි කොවිඩ් -19 හා සමාන අර්බුදයක් ලෙස පරිසරය ආරක්ෂා කරගැනීමේ අභියෝගයට මුහුණ දෙමින් සිටින අතර රටක් ලෙස ඒ සඳහා ලබාදෙන දායකත්වය සමාජ වගකීමක් ලෙස අප අවබෝධ කරගත යුතු යැයි විහාර මහාදේවි උද්‍යානයේ පැවති රුක් ‍රෝපණය වැඩසටහනට එක්වෙමින් තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.


විහාර මහාදේවි උද්‍යානයෙන් ඇරඹි ශ්‍රී ලංකාව තුළ පැළ මිලියන 20ක් සිටුවීමේ මෙම වැඩසටහනට සමගාමීව කොළඹ සිට යාපනය දක්වා දින 11ක් පුරාවට මුළු දුර කි.මී. 712 කට විවිධ ස්ථානවල සංකේතාත්මකව පැල සිටුවන පාපැදි සවාරියක් ද ආරම්භ විය. මෙම වැඩසටහන අතුරලියේ රතන ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් මාතා පදනම විසින් සංවිධානය කර තිබිණ.

එහිදී අදහස් දැක්වූ තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මෙසේ ද කීවේය.

විශේෂයෙන් රතන ස්වාමීන් වහන්සේ ගහ කොළ, සතා සීපාවා පිළිබඳ නිරන්තරයෙන් හඬක් නැඟූ ස්වාමීන් වහන්සේ නමක්. පරිසරය ආරක්ෂා කළ යුතු ආකාරය සම්බන්ධව නිරන්තරව උන්වහන්සේ අනුශාසනා ලබාදනවා. මෙම වකවානුව තුළ ගෝලීය වශයෙන් සහ රටක් ලෙස අප මුහුණදෙන කොවිඩ් – 19 වසංගත අභියෝග හා සමානව විශාල අභියෝගය වන පරිසරය ආරක්ෂා කරගැනීම සඳහා තරුණ පිරිස ඒකරාශී කරගනිමින් කතාවට සීමා නොවී එය ක්‍රියාවට නැංවීමේ වැඩපිළිවෙලක් පෙළගැසිය යුතු බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

පසුගිය වසරේ ලෝකයේ ඇතිවූ සංවර්ධන ක්‍රියාවලියත් සමඟ වායුගෝලයට කාබන් මුදා හැරිමෙන් ගෝලීය උණුුසුම ඉහළ යාම නිසා හිමකදු දියවීම, මුහුදු මට්ටම ඉහළ යාම, නියඟ ගංවතුර ආදී කාලගුණික – දේශගුණික විපර්යාස රැසකට ලෝකය මුහුණ දෙමින් ඇත. එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවේදී සියලු රටවල් අත්සන් කළ පැරිස් සම්මුතිය මගින් ගෝලීය උණුසුම අවම කිරීමට අප ගත යුතු ක්‍රියාමාර්ග නිර්දේශ කර තිබේ. එම ක්‍රියාකාරකම් කිරීම පිළිබඳ අවධානය යොමු කළ ‘මාතා“ පදනම මෙම වැඩසටහන සංවිධානය කර තිබේ.

මිහිතලයේ හා ජීව සංහතියේ පැවැත්ම වෙනුවෙන් ලෝකයම අවදි කිරීමේ අරමුණින් මිහිතලය පුරා පැළ මිලියන 100ක් සිටුවීමේ වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ පැළ මිලියන 20ක් සිටුවීමට නියමිතය.
අතුරලියේ රතන හිමි මෙහි සමාරම්භයට වැඩම කළහ. මෙම අවස්ථාවට තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාපක්ෂ, අමාත්‍ය බන්දුල ගුණවර්ධන, රාජ්‍ය ආයතනවල සභාපතිවරුන් මෙන්ම මාතා පදනමේ සාමාජික ඩිලන්ත මාලගමුව, රංගන ශිල්පී රොෂාන් රණවණ මහත්වරු ඇතුඵ බොහෝ ආරාධිත පිරිසක් එක්ව සිටියහ.

More articles

Latest article