29 C
Colombo
බදාදා, මැයි 22, 2024

ජාතියේම සිහිනය වී ඇති අපේ රටේ ගෑස් සහ තෙල් ගොඩ ගැනීමට අපි සූදානම් – අමාත්‍ය උදය ගම්මන්පිල

Must read

සමස්ත ජාතියේම සිහිනය වන මෙරට ගෑස් සහ තෙල් ගොඩ ගැනීමට සූදානම් බව ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංවර්ධන අධිකාරියේ සමාරම්භක උත්සවය අමතමින් බලශක්ති ඇමැති නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවසීය.

බොහෝ බලාපොරොත්තු තබාගෙන තෙල් සොයාගත් අප්‍රිකානු සහ ලතින් අමෙරිකානු රටවල තෙල් හා ගෑස් සම්පත ලැබුණත් ධනවත් වූයේ දේශපාලකයන් හා නිලධාරීන් පමණක් බවද ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය ස්ථාපනය කළේ ශ්‍රී ලංකාවට ඒ ඉරණම අත් නොවිය යුතු නිසා බවද ඇමැතිවරයා කීය.

මේ මොහොතේ විදේශ විනිමය හිඟයකට බරපතළ ලෙස මුහුණ දී ණය බරින් මිරිකි සිටින ශ්‍රී ලංකාවට අනාගතයේ අපට ඇති එකම බලාපොරොත්තුව මේ අධිකාරිය යැයි ද හෙතෙම කීය.

ඒ මහතා මෙසේද කීය.

මේ ආයතනය අධ්‍යක්ෂවරු පත් කිරීම සම්බන්ධයෙන් තිබෙන ක්‍රියාපටිපාටිය ශ්‍රී ලංකාවට නැවුම් අත්දැකීමක්, සුවිශේෂී ක්‍රමවේදයක් අපි අනුගමනය කර තියෙනවා. මුල්ම කාරණය තමයි ඇමැතිවරයාට තමන්ට ඕනෑ විදිහට අධ්‍යක්ෂවරු පත් කරන්න බැහැ. අධ්‍යක්ෂවරුන්ට තිබිය යුතු සුදුසුකම් ගැසට් මගින් නියෝගයක් විදියට ප්‍රසිද්ධ කරන්න ඕනෑ. අපි ඒ නියෝගය ගැසට් මගින් ප්‍රකාශ කළා. ඔක්තෝම්බර් මාසයේ 8 වැනිදා. ඊට පස්සේ ඇමැතිවරයා තෝරාගන්න පුද්ගලයන්ට ඒ අවම සුදුසුකම් තිබෙන බවට සහතික කරගන්න ප්‍රසිද්ධ කරපු සුදුසුකම් සහ පත් කරන්න යන පුද්ගලයන්ගේ ජීව දත්ත සටහන් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඒ නම් වලට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ගන්න ඕනෑ.

සාමාන්‍යයෙන් අධිකාරියක අධ්‍යක්ෂවරු පත් කිරීමේ දී සිදුවන ඇමැතිගේ පාක්ෂිකයන් ඥාතීන් හිත මිතුරන් කිසිවක් මේ අධ්‍යක්ෂ මණ්ඩලයේ නැහැ. මේ සිටින්නේ මේ විෂයට අදාළ පුද්ගලයන් පමණමයි.

ඒ වගේම අපේ සභාපති තනතුරට පත් කළේ කීර්තිමත් ඛනිජ තෙල් සම්බන්ධයෙන් ඉංජිනේරුවකු වන සාලිය වික්‍රමසූරිය මහතායි. අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පත් කළේ මේ ක්ෂේත්‍රයේ විශාල අත්දැකීම් තිබෙන සුරත් ඕවිටිගම මහතායි. ඒ වගේම අනෙකුත් සාමාජිකයන් විදිහට මා පත් කර තිබෙන්නේ ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු ,භූ විද්‍යාඥ ආචාර්ය එම් පී විජයානන්ද මහත්වරුන් , ඛනිජ තෙල් ක්ෂේත්‍රයේ බොහෝ අත්දැකීම් තිබෙන මැක්ලරන්ස් සමූහ ව්‍යාපාරයෙ සභාපති. අනෙකුත් නිලධාරීන් පස් දෙනාම තමන්ගේ තනතුරේ නිල බලයෙන් තමයි මේ ආයතනයට පත් වී තිබෙන්නේ. අපට තව මුදල් අමාත්‍යංශය විතරයි පත් කරන නිලධාරියා නම් කර නැත්තේ.

ශ්‍රී ලංකාවේ ගෑස් සහ තෙල් ගොඩ ගැනීමට බාධා බවට පත්වෙලා තිබුණු බාධා ගණනාවක් පසුගිය වසරක් පුරා අපි ඉවත් කළා. අපි වෘත්තීය මට්ටමේ නිලධාරීන්ව ආයතනයට හඳුන්වා දුන්නා. දෙවනුව අපි ගෑස් ප්‍රතිපත්තියක් හඳුන්වා දුන්නා. දැවැන්ත බිම් කැබලි විස්සකට තිබුණු භූමිය අපි කුඩා බිම් කැබලි අටසිය හැත්තෑ තුනකට පරිවර්තනය කළා. ඒ වගේම අවශ්‍ය නියාමන පසුබිම කරන්න අවශ්‍ය පනත සම්මත කළා. අද දිනයේ අපි අධිකාරිය පිහිටුවා අධ්‍යක්ෂ මණ්ඩලය පත් කිරීමෙන් මේ ක්‍රියාවලිය සම්පූර්ණ වුණා.

දැන් තිබෙන්නේ ගෑස් සහ තෙල් ගොඩ ගැනීම පමණයි. ඒ වගකීම මේ අධිකාරියට බාරයි. මෙතනදී අපි බලාපොරොත්තු වෙනවා මාර්තු මාසය වන විට දැනට ගෑස් නිධි නිශ්චිතවම හඳුනාගෙන තිබෙන M2 කැබැල්ල ප්‍රසිද්ධ වෙන්දේසියක් කර සුදුසු ආයෝජකයෙක් ඒ සඳහා සොයා ගැනීමට. එය 2022 මාර්තු මාසය වන විට ආරම්භ කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඊට අදාළ මූලික කටයුතු මේ දිනවල කරමින් පවතිනවා. ඒ වගේම අනෙකුත් බිම් කොටස් සම්බන්ධයෙන් අපි දැනට ඒකාබද්ධ ගවේෂණ කරන්න අවශ්‍ය සමාගම්වලට අවශ්‍ය දත්ත සපයමින් ඒකාබද්ධ ගවේෂණ කිරීම ආරම්භ කර තිබෙනවා. අපිට වැඩිපුරම ඉල්ලුමක් තිබෙන්නේ දැනට මන්නාරම් ද්‍රෝණියට පමණයි. ඒකට හේතුව අපිට විධිමත් නිශ්චිත දත්ත තිබෙන්නේ මන්නාරම් ද්‍රෝණියට පමණයි. නමුත් මෑතකදී අපි අමෙරිකාවේ බෙල් ජියෝස්පේස් (Bell Geospace) සමාගම සමඟ එකතු වෙලා ගුවනින් කාවේරි ද්‍රෝණිය දත්ත රැස් කිරීම සිදු කළා. අධ්‍යක්ෂ ජනරාල් දැනුම් දුන්නා තවත් මාසයකින් විතර පමණ අපිට ඒ සම්බන්ධ වාර්තාව ලැබේවි කියා. එතකොට අපිට පුළුවන් වෙනවා නිශ්චිතව කාවේරි ද්‍රෝණියට උනන්දුවක් දක්වන ආයෝජකයන් සොයාගන්න.

අපට තිබෙන පළමුවෙනිම අභියෝගය තමයි මේ මොහොතේත් එක්සත් රාජධානියේ පැවැත්වෙන දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුව. ඒ සමුළුවේදී 2022 න් පසු අලුතින් තෙල් පිරිපහදු ආරම්භ නොකිරීමේ වැනි ඛනිජ තෙල් ක්ෂේත්‍රයෙන් ඉවත් වීම සම්බන්ධයෙන් සාකච්ඡා තමයි මේ දිනවල ලෝකයේ සිදුවෙන්නේ. ශ්‍රී ලංකාව පරක්කුයි කියන්නේ හොඳටෝම පරක්කුයි. ශ්‍රී ලංකාව ඛනිජ තෙල් ගවේෂණයට සහ, කැනීමට ඉදිරිපත් වන්නේ ලෝකය තෙල්වලට සමු දෙමින් සිටින මොහොතකයි. ඒ නිසා අලුත් රටකට ආයෝජකයන් ගෙන්වා ගැනීම අතිශයින් ම අභියෝගාත්මක දෙයක් බවට පත්වෙලා තිබෙනවා. මේ මොහොතේ ලෝකයේ පවතින කොවිඩ් වසංගතය හමුවේ සමස්ත ලෝකයම දැවැන්ත පසුබෑමකට ලක් වී තිබෙන්නේ .ඒ නිසාම බොහෝ සමාගම් අලාභ ලබන තත්ත්වයට පත් වෙලා.

More articles

Latest article