ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පවතින වෙළඳාම පුළුල් කිරීම සහ නව ක්ෂේත්‍රයන්හි අවස්ථා සක්‍රීය කිරීමේ අරමුණින් යෝජිත නිදහස් වෙළෙඳ ගිවිසුමට අදාළ තුන්වැනි වටයේ සාකච්ඡා අද (09) සහ හෙට (10) කොළඹදී පැවැත්වේ. මේ සඳහා තායිලන්ත රජයේ නියෝජිත කණ්ඩායම ඊයේ (08) පෙරවරුවේ දිවයිනට පැමිණි අතර තායිලන්ත වෙළෙඳ සාකච්ඡා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අවුරමන් සුප්තාවිතුම් ( Auramon Supthaweethum) මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිතයන් 26 දෙනෙකුගෙන් එම කණ්ඩායම සමන්විත විය .
භාණ්ඩ වෙළඳාම, සේවා වෙළඳාම, ආයෝජන, ප්‍රභවස්ථාන රීති, රේගු සහයෝගීතාව හා වෙළඳාම් පහසුකරණය සහ ආර්ථික සහයෝගීතාව යන ක්ෂේත්‍ර පිළිබඳව මෙම සාකච්ඡාවලදී විශේෂ අවධානය යොමු කෙරෙනු ඇත.
2021 වර්ෂයේ දී ශ්‍රී ලංකාවෙන් තායිලන්තයට සිදු කළ අපනයන ඩොලර් මිලියන 59ක් වන අතර, තායිලන්තයෙන් ශ්‍රී ලංකාවට සිදු කළ ආනයන ඩොලර් මිලියන 355කි. තායිලන්තයට වාසිදායක වෙළඳ ශේෂයක් පවතින පසුබිමක් තුළ මෙම සාකච්ඡා ආරම්භ කෙරෙන අතර තායිලන්ත ප්‍රවේශය හරහා තායි වෙළඳපොළ පමණක් නොව අනෙකුත් ආසියාන් (ASEAN) වෙළඳපොළවල අපගේ අපනයන සඳහා ප්‍රවේශය වැඩිදියුණු කිරීම සහ වෙළඳාමට පවතින තීරුබදු නොවන වෙළඳ බාධක අඩු කිරීම මෙම සාකච්ඡාවල අරමුණයි.
ශ්‍රී ලංකාවේ මැණික්, තේ (කළු) යනාදී අපනයන සඳහා විශාල විභවතාවයක් තායිලන්ත වෙළඳපොළ තුළ පවතින අතර, මෙම සාකච්ඡා සාර්ථක කර ගැනීම හරහා දෙරට අතර පවතින වෙළඳාම පුළුල් කර ගැනීමට හා නව ක්ෂේත්‍රවල පවත්නා අවස්ථා සක්‍රීය කිරීමට මාර්ග විවෘත වනු ඇත.
මෙම සාකච්ඡා සදහා ශ්‍රී ලංකාව පාර්ශ්වයෙන් ජනාධිපති කාර්යාලය යටතේ ක්‍රියාත්මක වන ජාතික වෙළඳ සාකච්ඡා කමිටුව සහභාගි වන අතර, විදේශ කටයුතු අමාත්‍යාංශය, වෙළඳ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශයෙහි වෙළඳ හා ආයෝජන කටයුතු දෙපාර්තමේන්තුව හා වාණිජ දෙපාර්තමේන්තුව යන ආයතනවල නියෝජිතයන් ද ඊට ඇතුළත්ය.
ශ්‍රී ලංකා – තායිලන්ත නිදහස් වෙළඳ ගිවිසුම 2024 පළමු කාර්තුවේ දී ක්‍රියාත්මක කිරීමට රජය අපේක්ෂා කරන අතර, දේශීය වාණිජ මණ්ඩල හා කර්මාන්ත සංගම් විසින් ඉදිරිපත් කරන ලද නිශ්චිත ඉල්ලීම් පිළිබඳව ද මෙම සාකච්ඡාවලදී අවධානය යොමු කෙරෙනු ඇත.
මෙම ගිවිසුම ලෝක වෙළඳාමෙන්, ජනගහනයෙන් හා ආර්ථිකයෙන් 30%ක හිමිකාරීත්වය දරන කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරිත්වයට (RCEP) සම්බන්ධ වීමේ රජයේ ඉලක්කය සඳහා ආරම්භක පියවරක් වනු ඇති අතර, ඒ ඔස්සේ දෙරට අතර පවතින ඓතිහාසික රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට ද, නිමි භාණ්ඩ අපනයන වර්ධනය කර ගැනීම හරහා දෙරටෙහිම සංවර්ධන ප්‍රයත්නයන්හි වැදගත් අංගයක් වන ජාත්‍යන්තර වෙළඳාමෙහි විශාල ප්‍රගමනයක් ඇති කර ගැනීමට ද රජය අපේක්ෂා කරයි.
රාජ්‍යයන් කිහිපයක් සමඟ දෙරට අතර භාණ්ඩ හුවමාරු කර ගැනීම වෙනුවෙන් ඉන්දියාව, චීනය හා සිංගප්පූරුව යන රටවල් සමඟද නිදහස් වෙළෙඳ ගිවිසුම් අත්සන් කර ගැනීම වෙනුවෙන් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් යෝජනා ඉදිරිපත් කර තිබේ. ඊට අමතරව පසුගිය රජය සමයේ නිදහස් වෙළෙඳ ගිවිසුම් සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කළ බංග්ලාදේශය සමඟ තවදුරටත් සාකච්ඡා ඉදිරියට ගෙන යාමට ද රජය තීරණය කර තිබේ. බංග්ලාදේශය සමඟ වන සාකච්ඡා සූම් තාක්ෂණය ඔස්සේ ඉදිරියට ගෙන යාමට නියමිතය. මේ වන විට පිහිටුවා ඇති ජාත්‍යන්තර වෙළෙඳ කාර්යාලය හරහා තවදුරටත් නිදහස් වෙළෙඳ ගිවිසුම් සම්බන්ධයෙන් කටයුතු කෙරෙනු ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු පැවැසීය.