34 C
Colombo
සඳුදා, අප්‍රේල් 22, 2024

නගර සභා 7ක් මහ නගර සභා ලෙස උසස් කෙරේ

Must read

අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක කෙරෙන සෑම පරිපාලන දිස්ත්‍රික්කයකම අගනගරය මහනගර සභාවක් ලෙස සංවර්ධනය කිරීමට අදාළ වැඩපිළිවෙළ යටතේ දිස්ත්‍රික්ක 7ක අගනගර 7ක් මහ නගර සභා ලෙස උසස් කිරීම සඳහා වූ පළමු අදියරේ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

මහනගර සභා ලෙස උසස් වීම් ලැබූ නගර සභා 7න්, පළමු ගැසට් නිවේදන නිකුත් වී ඇත්තේ වවුනියාව, කළුතර, කෑගල්ල, පුත්තලම හා ත්‍රිකුණාමලය යන පළාත් පාලන ආයතනයන් (නගර සභා) සඳහාය. අම්පාර සහ මන්නාරම නගර දෙකද ඇතුළුව මෙම නගර සභා 7ම, මහනගර සභා බවට පත් කිරීමට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන ඇමැතිවරයා ලෙස අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට මීට පෙර අනුමැතිය ලැබිණි.

මෙසේ මහනගර සභා බවට උසස් කිරීමකට ලක්කරන ලද පළාත් පාලන ආයතන 7න් 5ක්, අගමැති සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන ඇමැතිවරයා ලෙස නිකුත් කළ අංක 2296/05 හා අංක 2296/37 දරන අතිවිශේෂ ගැසට් පත්‍ර යටතේ මහනගර සභා බවට පත් කොට ඇත.

ඉතිරි නගර සභා දෙක වන මන්නාරම හා අම්පාර යන පළාත් පාලන ආයතන මහ නගර සභා බවට පත් කෙරෙන ගැසට් පත්‍රය ඉදිරියේදී නිකුත් කිරීමට නියමිතය.

මෙලෙස මහනගර සභාවක් ලෙස ස්ථාපිත වන්නා වූ කළුතර නගර සභාව ආරම්භකොට ඇත්තේ 1923 ඉංග්‍රීසි පාලන සමයේදී වීම තුළද අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා ගත් මෙම පියවරේ ඓතිහාසික වශයෙන් වැදගත් වෙයි.

මහනගර සභාවක් බවට පත්වීම තුළ අදාළ පළාත් පාලන ආයතනයට විශාල වරප්‍රසාද ප්‍රමාණයකට හිමිකම් කිව හැකි අතර, මහ නගර සභා ආඥා පනත යටතේ ස්වාභාවිකව එම පළාත් පාලන ආයතනය සුවිශේෂී නීති උරුමයන් රාශියක් හිමි කර ගනී. ඒවා අතරට විශේෂ බදු ආදායම් ලැබීමට මෙන්ම සෞඛ්‍ය, අධ්‍යාපන, ප්‍රවාහන, සමාජ සුබසාධන ආදි ක්ෂේත්‍ර ගණනාවක පරිපාලනය සඳහා වන නීති රෙගුලාසි ද ඇතුළත් වන්නේය. මහ නගර සභාවක් වීම තුළින් සභාව මෙන්ම ඒ තුළ ජීවත් වන ප්‍රජාවත් සවිබල ගැන්වේ. මෙම ආඥා පනත මඟින් එකී සභාව තුළ ජීවත් වන ප්‍රජාවටත් ආර්ථික ආයතනවලටත්, වඩාත් වැඩි අයිතිවාසිකම් හා පහසුකම් සහතික කිරීමට අවශ්‍ය පදනම ලබා දෙයි. මෙම සමස්ත ක්‍රියාවලිය තුළ ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයක ම ප්‍රධාන අගනගරයන් වටිනාකමින් වැඩි ශක්තිමත් බිම්මට්ටමක් සහිත නව පිබිදීමක් ඇති කර ගනිමින් ජාතික ප්‍රගමනයට එකතු වනු ඇත.

පළාත් පාලන ආයතනයක් මහනගර සභාවක් වීම සම්බන්ධයෙන් අදහස් දක්වන කොළඹ මහනගර සභාවේ හිටපු නාගරික කොමසාරිස් වී. කේ. අනුර මහතා සඳහන් කරන්නේ මහ නගර සභා අඥා පනත මඟින් අදාළ පළාත් පාලන ආයතනයට විශාල ශක්තියක් ලබා දෙන බවය. විෂය භාර ඇමැතිවරයා ලෙස අගමැතිවරයා නගර සභා 7ක් මහ නගර සභා බවට පත් කිරීමට ගත් තීන්දුව කාලෝචිත මෙන්ම අදාළ බලප්‍රදේශවල ජනතාවට වටිනාකම් රැසක් එක්කරනු ඇතැයි තමන් විශ්වාස කරන බවද ඒ මහතා සඳහන් කරයි. යම් බල ප්‍රදේශයක් ප්‍රාදේශීය සභාවක් විය යුතු ද, නගර සභාවක් විය යුතු ද නැත්නම් මහ නගර සභාවක් විය යුතු ද යන්න තීරණය කරනුයේ නාගරික මට්ටම අනුව බව සඳහන් කළ කොළඹ මහනගර සභාවේ හිටපු නාගරික භාණ්ඩාගාරික කේ. ඩී. චිත්‍රපාල මහතා වැඩිදුරටත් පවසා සිටියේ, පසුගිය දශක ගණනාව තිස්සේ අදාළ නගර සභා 7 විශාල නාගරීකරණයකට ලක්වීම තුළ ඒවා මහනගර සභා ලෙස උසස් කිරීමට අගමැතිවරයා ගත් පියවර ජාතික කර්තව්‍යයක් සේ තමන් දකින බවය.

එමෙන්ම අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා, විෂය භාර ඇමැතිවරයා ලෙස ඉටු කළ මෙම ඓතිහාසික කාර්යයට, එම නගරවල ජනතාව වෙනුවෙන් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු රැසක් සිය කෘතඥතාව පළ කළහ. අම්පාර දිස්ත්‍රික්කයේ විමලවීර දිසානායක, ඩී. වීරසිංහ, වවුනියාව දිස්ත්‍රික්කයේ කුලසිංහම් දිලීපන්, ත්‍රිකුණාමලයේ කපිල අතුකෝරළ යන මන්ත්‍රීවරු ද ඒ අතර වූහ.

More articles

Latest article