26 C
Colombo
බදාදා, අප්‍රේල් 24, 2024

බස්නාහිර පළාත් අවුරුදු 24 න් පහළ සත් සාමාජික රග්බි ශූරතාව ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා සමාජයට

Must read

බස්නාහිර පළාත් අවුරුදු 24 න් පහළ සත් සාමාජික රග්බි ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා සමාජය සමත් විය. අන්තර් සමාජ පළමු පෙළ නිපෝන් පේන්ට් කුසලාන රග්බි තරගාවලියේ පළඟ ශූරතාව ද නාවික හමුදා ක්‍රීඩා සමාජය දිනා ගත් අතර, ජයග්‍රාහී රග්බි කණ්ඩායම් නායකයන් විසින් එම කුසලාන නාවික හමුදා ක්‍රීඩා කමිටුවේ සභාපතිවරයා වන නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතාට පිරිනැමීම පසුගියදා නාවික හමුදා මූලස්ථානයේදී සිදුකෙරිණි.

බම්බලපිටිය පොලිස් පිටියේ පැවැති අවුරුදු 24 න් පහළ සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් තරගයෙන් පීටර්සන් ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 50-5ක දැවැන්ත ජයක් වාර්තා කරමින් කුසලානය දිනා ගැනීමට නැවියෝ සමත් වූහ.

ශ්‍රී ලංකා රග්බි ආයතනය සංවිධාන කළ අන්තර් සමාජ පළමු පෙළ නිපෝන් පේන්ට් කුසලාන රග්බි තරගාවලියේ පළඟ ශූරතා වටයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගනිමින් නාවික හමුදා රග්බි පිල එම ශූරතාව දිනා ගත්තේය.

ජයග්‍රාහී අවුරුදු 24න් පහළ කණ්ඩායමේ නායක පී.එච්. ඈපා සහ පළමු පෙළ රග්බි පළඟ ශූරතාව දිනූ කණ්ඩායමේ නායක ඒ.ඊ. වීරතුංග එම කුසලාන නාවික හමුදාපතිවරයා වෙත ඉදිරිපත් කළහ. මේ අවස්ථාවට අධ්‍යක්ෂ ජනරාල් සේවා රියර් අද්මිරාල් නෙවිල් උබයසිරි, නාවික හමුදා රග්බි ක්‍රීඩා සංගමයේ සභාපති කොමදෝරු සනත් පිටිගල සහ එම සංගමයේ ලේකම් කපිතාන් තුසිත අබේසුන්දර මහත්වරු ද එක් වූහ.

More articles

Latest article