34 C
Colombo
සඳුදා, අප්‍රේල් 22, 2024

ගුවන් සේවා ක්ෂේත්‍රයේ වර්ධනයක් පසුගිය දශකයේ පෙන්වීමට හැකි වුණා – අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා

Must read

ගුවන් සේවා ක්ෂේත්‍රයේ සියලු අංශවලින් 4.5%ක වර්ධනයක් පසුගිය දශකයේ පෙන්වීමට හැකි වූ බව වරාය නාවික හා ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

ඇමැතිවරයා මේ බව පැවසුවේ (28) කැනඩාවේ මොන්ට්‍රියල් නුවර පැවැත්වෙන ජාත්‍යන්තර ගුවන් සේවා සංවිධානයේ 41 වැනි සැසිවාරය අමතමිනි.

රටවල් 194ක නියෝජිතයන් සහභාගී වන මෙම සැසිවාරය සැප්තැම්බර් 27 වැනි දින සිට ඔක්තෝබර් 07 වැනිදා දක්වා මොන්ට්‍රියල් නුවරදී පැවැත්වේ.

මෙහිදී තවදුරටත් කරුණු දැක්වු ඇමැතිවරයා මෙසේ ද පැවසීය.

2020 වසරේ සිට උද්ගත වූ කොවිඩ් වසංගතය හේතුවෙන් ගෝලීය ප්‍රජාව ඉතාමත් සංකීර්ණ ජීවන රටාවකට හුරු වීම නිසා විශාල ආර්ථික අවපාතයකට මුහුණ දී සිටිනවා.

මේ හේතුව නිසා ශ්‍රී ලංකාවේ ප්‍රවාහන හා සංචාරක ක්ෂේත්‍රයේ විශාල කඩා වැටීමක් සිදුව තිබෙනවා. මෙය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට විශාල බාධාවක්.

ඉන්දියන් සාගරයේ පිහිටි දූපත් රාජ්‍යක් ලෙස ශ්‍රී ලංකාවේ ආර්ථිකය පවත්වාගෙන යෑමට අවශ්‍ය විදේශ විනිමය උපයා ගන්නේ සංචාරක ව්‍යාපාරය, විදේශ රැකියා සහ භාණ්ඩ අපනයනයෙන්.

එලෙස උපයන විදේශ විනිමය ඉතා වැඩි වශයෙන් වියදම් කරනුයේ ඉන්ධන, බෙහෙත්, පොහොර සහ අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය අනයනය කිරීම සඳහායි.මේ වන විට ඇතිව ඇති ආර්ථික අවපාතය අවම කිරීමට ආණ්ඩුව විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේ. ඒ තුළින් ශ්‍රී ලාංකිකයින්ගේ ජීවන තත්ත්වය යහපත් මට්ටමකට ගෙන ඒමට ආණ්ඩුව මේ වන විට කටයුතු කර තිබේ.

නමුත් මෙම සියලු බාධක තත්ත්වයන් යටතේ වුවත් ශ්‍රී ලංකාවේ සිවිල් ගුවන් සේවා ක්ෂේත්‍රය පෙර තත්ත්වයට පත්වෙමින් තිබීම සතුටට කරුණක්.

මෙම කොවිඩ් බලපෑමෙන් පසුව ගුවන් සේවා ක්ෂේත්‍රය පෙර තත්ත්වයට පත් කිරීමට ජාත්‍යන්තර ගුවන් සේවා සංවිධානය වග කිවයුතු සංවිධානයක් ලෙස ඉටු කළ කාර්යභාරය සමාජික රටක් ලෙස ඉතා අගය කරනවා. ශ්‍රී ලංකාව තුළ මේ වන විට ඕනෑම ප්‍රදේශයකට ඉතා පහසුවෙන් ළඟා විය හැකි අභ්‍යන්තර මාර්ග පද්ධතියක් සහ දුම්රිය මාර්ග පද්ධතියක් තිබෙනවා. රටේ ඕනෑම පුරවැසියකුටම කි.මි. 100ක් ඇතුළත ජාත්‍යන්තර ගුවන්තොටුපොළකට ළඟා විය හැකි බැවින් ඒ තුළින් ජාත්‍යන්තර සබඳතා ගොඩනඟා ගැනීමට හැකි වෙනවා.

ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා සමඟ කැනඩාවේ ශ්‍රී ලංකා තානාපති හර්ෂ නවරත්න මහතා ද මෙම සැසියට සහභාගි විය.

More articles

Latest article