25 C
Colombo
සඳුදා, මැයි 20, 2024

ඉන්ධන හිඟයක් නැහැ – ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ සභාපති

Must read

ඔටෝ ඩීසල් ටොන් දෙකෝටි අසූදෙලක්ෂයක්
92 පෙට්‍රල් ටොන් පන්කෝටි හතළිස් නව ලක්ෂයක්
සුපර් ඩීසල් ටොන් අනූ හය ලක්ෂයක්
95 පෙට්‍රල් ටොන් එක්කෝටි පනස් තුන් ලක්ෂයක්
ගුවන් යානා ඉන්ධන සහ භූමිතෙල් ටොන් එක්කෝටි අසූ නව ලක්ෂයක්
තොග පර්යන්තයේ තිබෙනවා
ඊයේ ඩීසල් ටොන් 40,000ක් ලැබුණා
අද පෙට්‍රල් ටොන් 36,000ක් හෙට ඩීසල් ටොන් 40,000ක් එනවා
ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ සභාපති මොහොමඩ් උවයිස් කියයි
කිසිදු හිඟයකින් තොරව බෙදා හැරීමට ප්‍රමාණවත් ඉන්ධන තොග ආනයනය කර ඇති හෙයින් රට තුළ ඉන්ධන හිඟයක් ඇති නොවන බව රජය අවධාරණය කරයි.

ඉදිරි සතිය තුළ පමණක් ඩීසල් මෙට්‍රික් ටොන් 35,000ක්, පෙට්රල් මෙට්‍රික් ටොන් 35,000ක් හා ගුවන් යානා හා භූමිතෙල් මෙට්‍රික් ටොන් 35,000ක් මෙරටට ලැබීමට නියමිතව ඇති බව ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

එම නිවේදනයේ දක්වා ඇත්තේ ඔටෝ ඩීසල් මෙට්‍රික් ටොන් 28185284ක්, 92 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 54884765ක්, සුපර් ඩීසල් මෙට්‍රික් ටොන් 9,597,893ක්, 95 පෙට්‍රල් මෙට්රික් ටොන් 15,267,395ක්, ගුවන් යානා ඉන්ධන හා භූමිතෙල් මෙට්‍රික් ටොන් 18,946,732ක් මේ වන විටත් සංස්ථාවේ තොග පර්යන්තයේ ඇති බවයි.

සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව තාවකාලිකව වසා දැමීම හේතුවෙන් මෙරට ඉන්ධන අර්බුදයක් ඇති නොවන බවත් සපුගස්කන්ද පිරිපහදුව තාවකාලිකව වසා දැමීම වත්මන් ආර්ථික තත්ත්වය සලකා ගනු ලැබූ උපක්‍රමික තීරණයක් බවත් එහි දැක්වේ.

මේ අතර මුතුරාජවෙල තෙල් ගබඩා පර්යන්තයට ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් ඊයේ (17) ලැබුණු බවත් අද (18) පෙට්‍රල් මෙට්‍රික් ටොන් 36,000ක් හා හෙට (19) තවත් ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් ලැබීමට නියමිත බවත් ශ්‍රී ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ සභාපති මොහොමඩ් උවයිස් මහතා දිනමිණට ඊයේ (17) පැවසීය.

මේ මොහොතේද ඉන්ධන බෙදා හැරීම් කඩිනමින් සිදු වන බැවින් කලබල වී ඉන්ධන පිරවුම්හල් වැටලීමට නොයන ලෙසද හෙතෙම ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.

සපුගස්කන්ද පිරිපහදුව ඉදි කර ගෙවුණු වසර 52ක කාලය තුළ අවස්ථා ගණනාවකදි පිරිපහදුවේ ක්‍රියාකාරීත්වය තාවකාලිකව නතර කෙරෙන බවත් 2021 වසරේද අලුත්වැඩියා කටයුතු සඳහා පිරිපහදුවේ ක්‍රියාකාරීත්වය තාවකාලිකව නතර කෙරුණු බවත් මාධ්‍ය කේන්ද්‍රය නිකුත් කර ඇති නිවේදනයේ සඳහන් වේ.

More articles

Latest article