28.6 C
Colombo
සිකුරාදා, මැයි 24, 2024

පොලිතීන් තහනම ගැන නිරන්තර වැටලීම්

Must read

පොලිතීන් හා ලන්ච්ෂීට්, ප්ලාස්ටික් අයිතම තහනම නිසි අයුරින් ක්‍රියාත්මක වන්නේ දැයි සොයා බැලිම සඳහා මෙම වසර අවසන් වීමට ප්‍රථම වැටලීම් 4930ක ඉලක්කයක් සපුරා ගැනීමට සැලසුම් කර ඇතැයි මධ්‍යම පරිසර අධිකාරිය ,පරිසර ඇමැති මහින්ද අමරවීර මහතාට දැනුම් දී තිබේ.

ඒ සඳහා නිලධාරින් 706 දෙනෙක් යෙදවීමට නියමිත අතර මෙරට දිස්ත්‍රික්ක 25ම අවරණය වන පරිදි මෙම වැටලීම් සිදු කෙරෙනු ඇත.

ශ්‍රී ලංකාවේ පොලිතීන් හා ප්ලාස්ටික් භාවිතය අවම කිරීමේ අරමුණින් පරිසර අමාත්යාංෂශය විසින්, අංක 2034/34 හා 2211/51 දරණ අතිවිශේෂ ගැසට් පත්‍ර මගින් 2021 මාර්තු 31 සිට, එක්වරක් පමණක් පාවිච්චි කරන පොලිතීන් හා ප්ලාස්ටික් වලින් නිෂ්පාදිත අයිතමයන් 05ක් තහනම් කරනු ලැබීය.

එමෙන්ම අගෝස්තු 01 දින සිට පොලිතීන්වලින් නිෂ්පාදිත නොදිරණ ලන්ච්ෂීට් නිෂ්පාදනය, බෙදාහැරීම හා අලෙවිය ද තහනම් කරනු ලැබීය. එමෙන්ම ඉන්පසුව තවත් පොලිතීන් හා ප්ලාස්ටික් අයිතමයන් 08ක් තහනම් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිනි. ඊට අදාල ගැසට් පත්‍රය ඉදිරියේ දී නිකුත් වීමට නියමිතය.

පසුගිය මාර්තු 31 සිට ක්‍රියාත්මක වන පරිදි තහනම් කරනු ලැබූ සැෂේ පැකට් ( ආහාර හා ඖෂධ නොවන) , ප්ලාස්ටික් කූර සහිත කොට්න් බඩ්, පොලිතීන්වලින් නිෂ්පාදිත සුළං පුරවන ලද සෙල්ලම් භාණ්ඩ නිෂ්පාදනය, බෙදාහැරීම හා අලෙවි කිරීම මේ වනවිට මුළුමනින්ම නැවතී තිබේ.

අපේ රටේ පරිසරයට විශාල හානියක් සිදු කළ සැෂේ පැකට් මෙන්ම පොලිතීන්වලින් නිෂ්පාදිත නොදිරණ ලන්ච්ෂීට් තහනම සාර්ථක වීම අපේ රට ලැබූ ජයග්‍රහණයක් වුවද එම නිෂ්පාදන තවමත් සිදු කෙරෙන්නේ ද යන්න තවදුරටත් සොයා බැලීම සඳහා වැටලීම් සිදු කරන ලෙස පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා මධ්‍යම පරිසර අධිකාරියට දැනුම් දී තිබිණි.ඒ සම්බන්ධයෙන් කළ විමර්ශනයකින් පසුව ,ශ්‍රී ලංකාවේ පොලිතීන් හා ප්ලාස්ටික් භාවිතය අවම කරලීම සඳහා ගන්නා ලද තීරණ අනුව මෙවර තහනම් කරන ලද සැෂේ පැකට් හා ප්ලාස්ටික් කූර සහිත කොට්න් බඩ් භාවිතය හා සුළං පුරවන ලද සෙල්ලම් භාණ්ඩ නිෂ්පාදනය, බෙදාහැරීම හා අලෙවිය සම්පූර්ණයෙන්ම නැවතී ඇතැයි මධ්‍යම පරිසර අධිකාරිය විසින් ඇමැති මහින්ද අමරවීර මහතා වෙත දැනුම් දී තිබේ.

පරිසර අමාත්‍යංශය විසින් ලබා ගෙන ඇති තොරතුරු පරිදි වසරකට මෙරට තුළ රුපියල් කෝටි 96ක සැෂේ පැකට් අලෙවි වී තිබේ. එමෙන්ම වාර්ෂිකව පරිසරයට මුදා හරින ලන්ච්ෂීට් ප්‍රමාණය මිලියන 5475 ඉක්මවයි. මේවා පරිසරයට එක්වීම මත කිසිදු දිනෙක දිරාපත් වන්නේ නැත. මිනිස් ඇසට නොපෙනී යාමට වසර 50 සිට 450 දක්වා කාලයක් ගත වෙන අතර ඒවා ඉන් අනතුරුව ක්ෂුද්‍ර ප්ලාස්ටික් අංශු බවටත් ඉන් පසු නැනෝ අංශු බවටත් පත්ව අවසානයේ පසට මෙන්ම ජලාශ හා සාගරයට ද එකතු වේ. අපේ රටේ පානීය ජල මූලාශ්‍රවලට විශාල හානියක් සැෂේ පැකට් මගින් සිදු විය. අපේ රටේ ගංගා පද්ධතියට මෙන්ම ජලාශවලට සැෂේ පැකට් දිනපතා මිලියන ගණනින් එකතුවීම නිසා පානීය ජල මූලාශ්‍ර අපවිත්‍ර විය.

More articles

Latest article