29 C
Colombo
බදාදා, මැයි 22, 2024

පොදුජන ආණ්ඩුවක් බිහි කරනවා – සජිත් ප්‍රේමදාස

Must read

මේ වන විට කඩා වැටී තිබෙන ආර්ථිකය යළි ගොඩනංවා රට තුළ පොදුජන ආණ්ඩුවක් බිහි කිරීමට කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ ගාලුමුවදොර වටරවුමේදී ඊයේ (16) ප්‍රකාශ කර සිටියේය.

රට තුළ ඒකාධිපතීත්වයක් ඇති කිරීමට කිසිසේත් ඉඩ තබන්නේ නැති බව පැවසූ විපක්ෂ නායකවරයා දූෂණ වංචාවෙන් තොර සැබෑ දක්ෂයන්ගෙන් සමන්විත ආණ්ඩුවක් නිර්මාණය කිරීමට සමඟි ජන බලවේගය කටයුතු කරන බව ද කීවේය.

විපක්ෂ නායකවරයා මේ බව පවසා සිටියේ ‘සාපලත් ආණ්ඩුවට එරෙහිව ජනතා බලය’ මැයෙන් සමඟි ජන බලවේගය ඊයේ (16) සංවිධානය කර තිබූ විරෝධතා හමුව අමතමිනි.

රටේ ජීවන වියදම ඉහළ යෑම, කෘෂිකර්මාන්තය බිඳ වැටීම, අත්‍යවශ්‍ය භාණ්ඩ නැතිකම ඇතුළු පොදුජනතාව මුහුණදෙන ගැටලු මුල් කර ගනිමින් සංවිධානය කළ මේ විරෝධතාව කොළඹ මාකස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ නායක කාර්යාලය අසලින් ආරම්භ කළේය.

‘ගොවිතැනේ මළගම’, ‘සිමෙන්ති නෑ දැන් සැපද?’, ‘කිරිපිටි මිල සැපද?’, ‘ෆේල් ආණ්ඩුවට එරෙහිව මාත් එනවා’ යන විරෝධතා පුවරු රැගත් සජබ පාක්ෂිකයෝ ‘ආර්ථික ඝාතකයෝ සිටින ආණ්ඩුවක් ‘ යනුවෙන් සටන් පාඨ කියමින් විරෝධතාවයේ නිරත වූහ.

විපක්ෂ නායක කාර්යාලය අසලින් සිය විරෝධය ආරම්භ කළ සජබයේ විරෝධතාකරුවෝ පිත්තල හන්දිය, කොල්ලුපිටිය මංසන්ධිය දෙසින් ගාලුමුවදොර දෙසට ගමන් කළහ. ඉන් අනතුරුව ගාලුමුවදොර වටරවුමට විරෝධතාකරුවන් එක් වීමෙන් අනතුරුව විපක්ෂ නායකවරයා විරෝධතා රැලිය ආමන්ත්‍රණය කළේය.

මේ විරෝධතාව හේතුවෙන් ඊයේ (16) පස්වරුවේ කොළඹ පුස්තකාල වටරවුම, පිත්තල හන්දිය සහ ගාලුමුවදොර ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් ද පැවතිණි.

More articles

Latest article