29 C
Colombo
සඳුදා, මැයි 27, 2024

ජනපති පත් වී අදට වසර දෙකයි

Must read

“සෞභාග්‍යයේ දැක්ම රට තුළ ක්‍රියාත්මක වන්නට පටන් ගෙන දැන් වසර දෙකක් පිරී තිබේ. සෞභාග්‍යයේ දැක්ම ක්‍රියාත්මක කිරීමට අවස්ථාව උදා වූයේ 2019 ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලැබුණු ඓතිහාසික ජනවරම නිසාය. මෙරට හත්වැනි විධායක ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා වන ජනාධිපතිවරණය පැවැත්වුණේ 2019 වසරේ නොවැම්බර් මස 16 වැනිදාය. මෙරට ඉතිහාසයේ වැඩිම අපේක්ෂකයන් පිරිසක් තරග වැදුණු ජනාධිපතිවරණය ලෙස 2019 ජනාධිපතිවරණය ඉතිහාසයට එක්ව ඇතත් තරගය තිබුණේ අපේක්ෂකයන් දෙදෙනකු අතරය. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ හංසයා ලකුණ නියෝජනය කරමින් සජිත් ප්‍රේමදාස සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණ සටනට එක්ව සිටියහ.

ආරම්භයේ සිටම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට වාසිසහගත පසුබිමක් නිර්මාණය වෙමින් තිබෙන බව පෙනෙන්නට තිබුණි. ආරම්භ කර වැඩි කලක් ගතව තිබුණේ නැතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අනෙකුත් ජ්‍යෙෂ්ඨ පක්ෂවලට හිසරදයක් වන තරමට ජනප්‍රියව තිබුණේය. ඊට බලපෑ ප්‍රධානතම හේතුව වූයේ එහි නායකත්වයට පත්ව සිටි මහින්ද රාජපක්ෂය. 2015 ජනාධිපතිවරණයෙන් ජනාධිපති අසුන අහිමි වුවත් ජනතාවගේ හදවතෙන් මහින්දට හිමි තැන අහිමි කරවීම ලෙහෙසි පහසු කරුණක් නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමිව තිබූ අසීමිත ජනප්‍රියත්වය දෙස් දුන්නේය.

එවකට පැවැති යහපාලන ආණ්ඩුව 19 වැනි සංශෝධනය හරහා ව්‍යවස්ථාවට ගෙනා වෙනස්කම් හේතුවෙන් මහින්ද රාජපක්ෂට නැවත වරක් ජනාධිපති ධුරයට ඉදිරිපත්වීමේ හැකියාව අහිමි කොට තිබුණි. ඒ ජනාධිපති ධුරය දැරීමේ වාර ගණන දෙවරකට සීමා කිරීම තුළිනි. එසේම ද්විත්ව පුරවැසිභාවයද ජනාධිපති අපෙක්ෂකත්වයට ඉදිරිපත් වීමේ නුසුදුසුකමක් කළ එවකට රජය ජනාධිපති අපේක්ෂකත්වයට ඉදිරිපත්වීමේ වයස් සීමාවද ඉහළ නැංවූහ. මේ සියල්ලෙහි අරමුණ වූයේ රාජපක්ෂවරුන් ජනාධිපතිවරණ සටනෙන් ඉවත් කර තැබීම බව කිසිවකුටත් රහසක් නොවීය. පවතින නීති හමුවේ ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ ගෙන ඒම හොඳම විකල්පය බවට පත්ව තිබුණේය. ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපෙක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ සියලුදෙනාගේ ආශිර්වාදයෙන් තේරී පත් විය.

දේශපාලන පරපුරක සාමාජිකයකු වුවත් කිසිවිටෙක දේශපාලනය පිවිසීමේ අදහසකින් නොසිටි ගෝඨාභය රාජපක්ෂ කීර්තිමත් හමුදා නිලධාරියකු ලෙස දේශය වෙනුවෙන් යුතුකම් ඉටුකිරීමෙන් අනතුරුව විදෙස් ගත විය. පසුව ඔහු නැවත මෙරටට පැමිණෙනුයේ සිය වැඩිමල් සොහොයුරා වන මහින්ද රාජපක්ෂගේ 2005 ජනාධිපතිවරණ සටනට සහාය වීමටය. ජනාධිපතිවරණ සටන නිම වීමෙන් පසුව නැවත විදෙස්ගත වීමට අදහස් කර සිටියද සොහොයුරාගේ ඉල්ලීම මත ආරක්ෂක ලේකම් ධුරය භාරගැනීමට ගෝඨාභය රාජපක්ෂට මහතාට සිදු විය. මහින්ද රාජපක්ෂගේ අභීත සහ නොසැලෙන නායකත්වය යටතේ මානුෂීය මෙහෙයුම ක්‍රියාත්මක කරමින් වසර තිහක ත්‍රස්තවාදය මෙරටින් තුරන් කිරීමේ තීරණාත්මක මෙහෙවරක් ඉටු කිරීමට ගෝඨාභය රාජපක්ෂ මහතාට එම කාලයේ හැකියාව ලැබුණේය.

අනතුරුව ආරක්ෂක ලේකම් ධුරයට අමතරව නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ධුරය ද දරමින් එතෙක් කුණු ගොඩක්ව පැවැති කොළඹ නගරය අලංකාර නගරයක් බවට පෙරළීමේ භාරදූර මෙහෙවර ඉටු කිරීමටද හේ සමත් විය. සාම්ප්‍රදායික දේශපාලනඥයන් කෙරෙහි ජනතාවගේ සිත්වල තිබූ නොකැමැත්ත ඊට වෙනත් මඟක් ගත් අපේක්ෂකයකු ලෙස ගෝඨාභය රාජපක්ෂට වාසියක් විය. බොහෝදෙනාගේ බලාපොරොත්තුව වී තිබුණේ නව වැඩපිළිවෙළකි. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය “ගෝඨාභය – සෞභාග්‍යයේ දැක්ම“ ලෙසින් එළිදැක්වීය.

මැතිවරණ පොරොන්දු මෙරට ජනතාවට අමුතු දේවල් නොවේ. මෙරට ඡන්ද පොරොන්දුවල විකාශය ඇට අටේ සිට තුනයි පනහේ පාන් දක්වා පැතිර ගොස් තිබේ. ඡන්ද කාලයට පමණක් සීමාවන ඡන්ද පොරොන්දු ජනතාවගේ හාස්‍යයට ලක්ව තිබුණේ කිසිදිනෙක ඒවා ඉටු නොවීම නිසාය. අල්ලේ පැළ වෙන ඡන්ද පොරොන්දුවලට තිත තබමින් නවමු සම්ප්‍රදායකින් ඡන්ද පොරොන්දු ප්‍රතිපත්තියක් ලෙස ජනතාව හමුවේ තැබීම ආරම්භ වන්නේ 2005 වසරේදීය. ඒ මහින්ද රාජපක්ෂගේ මහින්ද චින්තන ප්‍රතිපත්ති ප්‍රකාශයත් සමඟය. මහින්ද චින්තනය ඒ පන්නයේ පළමු ප්‍රතිපත්ති ප්‍රකාශය විය. එහිම දිගුව 2010 වර්ෂයේදී මහින්ද චින්තන ඉදිරි දැක්ම ලෙස ජනතාව හමුවේ තැබිණි. මේ ප්‍රතිපත්ති ප්‍රකාශ දෙකේම වෙනස වූයේ ඒවා ඉටු කළ හැකි ඉටු කෙරෙන පොරොන්දු ලෙසට සටහන්ව තිබීමය.

සෞභාග්‍යයේ දැක්මද එවන් ප්‍රතිපත්ති ප්‍රකාශයක් විය. වසර හැත්තෑවකට අධික කාලයක් තිස්සේ රට මුහුණදෙමින් සිටි දැවෙන ගැටලු රාශියකට එමඟින් පිළියම් ඉදිරිපත් කොට තිබුණි. සිය ප්‍රතිපත්ති ප්‍රකාශය ජනතාව හමුවේ තබමින් ගෝඨාභය රාජපක්ෂ කියා සිටියේ සිය ප්‍රමුඛතම වගකීම ජාතික ආරක්ෂාව බවය. එසේම ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැඟීම, පරිසර සුරක්ෂිතතාවද ඔහුගේ ප්‍රමුඛතාව හිමිවූ අනෙකුත් කාරණා අතර විය. ජනතාවගේ අපේක්ෂාව වන සෞභාග්‍යවත් රාජ්‍යයක් ගොඩනැඟීමට එක්වන්නැයි ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේය. ඒ අනුව මෙරට හැට නව ලක්ෂයකට අධික ජනතාවක් සිය කැමැත්ත ගෝඨාභය රාජපක්ෂ මහතා හට පළ කළෙන් ඔහු හත්වැනි විධායක ජනාධිපතිවරයා ලෙස බලයට පත් විය. සිය ධුරයෙහි වැඩ භාර ගත් අභිනව ජනාධිපතිවරයා සෞභාග්‍යවත් රටක් ගොඩනගනු වස් සිය ප්‍රතිපත්ති මාලාව එතැන් පටන් ක්‍රියාවට නැංවීය.

ගෝඨාභය රාජපක්ෂ සිය ප්‍රතිපත්ති ප්‍රකාශයේ පළමු කොටස මඟින් දස ප්‍රතිපදාවක් ජනතාව හමුවේ තබා තිබුණි. ජාතික ආරක්ෂාව, මිත්‍රශීලි සහ නොබැඳුණු විදේශ ප්‍රතිපත්තිය, පිරිසුදු රාජ්‍ය පාලනය, ජනතාවට වගකියන ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයක්, පලදායී පුරවැසියෙක් – සශ්‍රීක මානව සම්පතක්, ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක්, තාක්ෂණය මත පදනම් වන සමාජයක්, භෞතික සම්පත් සංවර්ධනය, තිරසර පරිසර කළමනාකරණය, විනය ගරුක-නීති ගරුක සහ ගුණගරුක සමාජයක් එකී දස වැදෑරුම් ප්‍රතිපදාවේ අඩංගු කාරණා විය.

ජාතික ආරක්ෂාව නොසලකා හැරීමේ ආදීනව පාස්කු දා ත්‍රස්ත ප්‍රහාරයත් සමඟ අත්විඳින්නට ජනතාවට සිදුව තිබුණි. තිස් වසරක ත්‍රස්තවාදය පරාජය කොට ලෝකයේම අවධානයට ලක්ව සිටි ශ්‍රී ලංකාවට නැවත වරක් ඉස්ලාම් අන්තවාදීන්ගෙන් බෝම්බ කන්නට සිදුව තිබුණේ ජාතික ආරක්ෂාව නොසලකා හැරීම නිසාය. බුද්ධි අංශ දුර්වල කිරීම, හමුදා නිලධාරීන් අධිකරණ හමුවට ගෙනයමින් ඔවුන්ගේ මානසිකත්වය බිඳ දැමීම, හැකියා සහ දක්ෂතා නොසලකා හරිමින් සිය හිතවතුන් හට ආරක්ෂාවේ වගකීම් පවරා දීම යනාදී කරුණු හේතුවෙන් යහපාලන සමයේ ජාතික ආරක්ෂාව විශාල තර්ජනයකට ලක්ව තිබුණි.

හිටපු හමුදා නිලධාරියකු මෙන්ම ආරක්ෂක ලේකම්වරයා ලෙස වසර තිහක ත්‍රස්තවාදය පරාජය කරන්නට දායකත්වය සැපයූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙවැනි පසුබිමක් තුළ ජාතික ආරක්ෂාවට ප්‍රමුඛතාව දීම පුදුමයට කරුණක් වූයේ නැත.

නව ජනාධිපතිවරයා සිය ප්‍රතිපත්ති මාලාවේ සඳහන් වූ ආකාරයටම ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා කඩිනමින් ක්‍රියාත්මක විය. ආරක්ෂක ලේකම් ධුරයට සුදුස්සකු පත් කර නොගැනීමේ විපාක හොඳින් දැන සිටි ජනාධිපතිවරයා කීර්තිමත් හා නිර්භීත හමුදා නිලධාරියකු වූ විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න ආරක්ෂක ලේකම් ලෙස පත් කළේය. බුද්ධි අංශ ප්‍රතිසංවිධානයටද වහ වහා පියවර ගත් අතර සුරතලුන් වෙනුවට දක්ෂයන් හට නැවතත් ත්‍රිවිධ හමුදාව ඇතුළු ආරක්ෂක අංශයන්හි වගකිවයුතු තනතුරු හිමිවිය. පාස්කු දා ත්‍රස්ත ප්‍රහාරය එල්ලවීම ඇතුළු ජාතික ආරක්ෂාවේ සිදුවූ බිඳ වැටීම් සම්බන්ධයෙන් නිසි සමාලෝචනයක් කිරීමටත් එවැනි දෑ නැවත වරක් සිදු නොවීමට පියවර ගැනීමටත් ජනාධිපතිවරයාගේ උපදෙස් මත වහාම වැඩපිළිවෙළක් ආරම්භ කෙරුණි.

මෙරට විදේශ ප්‍රතිපත්තිය නොබැඳි ප්‍රතිපත්තියක් ලෙස ක්‍රියාවට නැංවීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දස වැදෑරුම් ප්‍රතිපදාවේ දෙවැනි කරුණ ලෙස සටහන්ව තිබුණේය. සුදුස්සන්ට නොව සිය හිතවතුන් හට විදෙස් සේවාවේ අවස්ථාව දීම සම්බන්ධයෙන් අතීතයේ සිටම චෝදනා නැඟුණි. මැතිවරණවලින් පරාජයට පත් වන දේශපාලනඥයන්, විශ්‍රාමික රාජ්‍ය සේවකයන්, මැති ඇමැතිවරුන්ගේ ඥාතීන් රාජ්‍ය තාන්ත්‍රිකයන් ලෙස පත්කොට වරප්‍රසාද ලබා ගැනීමට අවස්ථාව දීම නිසා විදේශ සේවාවෙන් රටට පලදායී මෙහෙවරක් ලබා ගැනීමේ අවස්ථාව අහිමිව තිබුණේය. බොහෝ රාජ්‍ය තාන්ත්‍රිකයන් හට එවැනි කටයුතුවල පළපුරුද්දක් තිබුණේ නැති බැවින් රටට සිදු වූයේ වාසි නොව අවාසිය.

එබැවින් මෙරට විදේශ සේවාව පූර්ණ ප්‍රතිසංවිධානයකට ලක් කිරීමේ අවශ්‍යතාවක් මතුව තිබුණි. රාජපක්ෂ ජනාධිපතිවරයා සිය රජයේ විදේශ අමාත්‍ය ධුරය ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකුට පවරන අතරේම විදේශ අමාත්‍යාංශයේ ලේකම් ධුරය අද්මිරාල් ජයනාත් කොළඹගේ හට පැවරීමට කටයුතු කළේය. විදෙස් දූත මණ්ඩලවල ඒ වන විට සේවයේ යෙදෙමින් සිටි පිරිස සම්බන්ධයෙන් සමාලෝචනයකට ලක් කිරීමට ජනාධිපතිවරයාගේ උපදෙසින් කටයුතු කෙරුණු අතර සමාලෝචනයෙන් අනතුරුව සියලුම දේශපාලන පත්වීම් ලාභීන් වහාම ආපසු කැඳවීමට කටයුතු කෙරිණි. රාජ්‍ය තාන්ත්‍රිකයන් ලෙස නව පත්වීම් දීමේදී හිතවත්කම් නොව සුදුසුකම්වලට ප්‍රමුඛතාව දීමට ජනාධිපති රාජපක්ෂ කටයුතු කළේය. ඒ අනුව ක්‍රමක්‍රමයෙන් විදේශ සේවාව ඉතිහාසයේ පළමු වරට විනිවිදභාවයෙන් යුතු සුපිරිසුදු විදේශ සේවාවක් බවට පත් වන්නට පටන් ගත්තේය.

රාජපක්ෂ ජනාධිපතිවරයාගේ අවධානය යොමුවූ තවත් කරුණක් වූයේ පිරිසුදු රාජ්‍ය පාලනයක් ස්ථාපිත කිරීමය. හමුදා නිලධාරියකු ලෙස මෙන්ම ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙසද සක්‍රිය රාජ්‍ය සේවකයකුව සිටි ගෝඨාභය රාජපක්ෂ මහතා හට රාජ්‍ය සේවයේ හොඳ නරක සම්බන්ධයෙන් අමුතුවෙන් කියා දිය යුතුව තිබුණේ නැත. මෙරට ජනතාවගේ විශ්වාසය වන්නේ රාජ්‍ය සේවය ඉතාමත් දූෂිත සහ අකාර්යක්ෂම සේවාවක් බවය. රාජ්‍ය සේවකයන් වැරැදිවලට පෙලැඹීමට හේතු කාරණා ඇති බවත් අකාර්යක්ෂම බවට විසඳුම් ඇති බවත් ජනාධිපතිවරයාගේ විශ්වාසය විය. ඒ අනුව රාජ්‍ය සේවාව ප්‍රතිසංවිධානය කිරීමට කටයුතු ආරම්භ කෙරුණේය. මෙරට පළමු පුරවැසියා ලෙස ජනාධිපතිවරයා නාස්තිය සහ දූෂණය පිටුදකිමින් සිය ආදර්ශය රාජ්‍ය සේවකයන් හට දී තිබුණේය. රාජ්‍ය සේවකයන් හට තිබුණේ ඔහු අනුගමනය කිරීම පමණි.

විනයගරුක, නීතිගරුක සහ ගුණගරුක සමාජයක් ගොඩනැංවීමද ජනාධිපතිවරයාගේ ප්‍රමුඛ අරමුණක් විය. ඒ වන විට පාතාලය, කුඩු ජාවාරම ප්‍රසිද්ධියේ කෙරෙන තැනට රට පත්ව තිබුණු අතර දේශපාලන හෙංචයියන්ගේ බලය හමුවේ නිහඬව සිටීමට ආරක්ෂක අංශවලට සිදු විය. එම තත්ත්වය වහාම වෙනස් කළ රාජපක්ෂ ජනාධිපතිවරයා පොලිස් විශේෂ බළකාය ප්‍රමුඛ සියලුම ආරක්ෂක සේවාවන්වල පූර්ණ බලය යොදා පාතාලය සහ කුඩු ජාවාරම මර්දනයට පියවර ගත්තේය. එම පියවර හේතුවෙන් පාතාල නායකයන් රටින් පැන යන්නට පටන් ගත්තද විදෙස්ගතව සිටියදී පවා ඔවුන්ට නිදහසේ සිටින්නට ඉඩක් ලැබුණේ නැත.

ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් ගොඩනැංවීමද රාජපක්ෂ ජනාධිපතිවරයා විශේෂ අවධානයක් යොමු කළ ක්ෂේත්‍රයක් විය. ඒ වන විට ඉහළ අගයකට පැමිණ තිබූ උද්ධමනය සහ රැකියා වියුක්තිය පහත හෙළීම මෙන්ම රුපියලට වැඩි වටිනාකමක් දී මෙරට ආර්ථික වර්ධන වේගය සියයට 6.5 දක්වා ඉහළ නැංවීම ජනාධිපතිවරයාගේ අරමුණ විය. ඒ සඳහා ගොවිතැනට තාක්ෂණය මුසුකොට වැඩි ආදායමක් ලබා ගැනීම, අපනයන භෝග වගාව තවදුරටත් ප්‍රවර්ධනය කිරීම යනාදී ක්‍රියාමාර්ග අනුගමනය කරන ලදි. විශේෂයෙන් නීරෝගී සහ පලදායී පුරවැසියකු බිහි කිරීමට නම් වස විසෙන් තොර ආහාර වේලක් සඳහා ජනතාවට ඇති අයිතිය තහවුරු කළ යුතු බව සෞභාග්‍යයේ දැක්මෙහි සඳහන්ව තිබුණේය. ඒ සඳහා ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය වසර දහයක් ඇතුළත මුළුමනින්ම කාබනික පොහොර භාවිතයට හුරු කළ යුතු බව ජනාධිපතිවරයාගේ අදහස විය. විවිධ බාධා එල්ල වී ඇතත් ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් ආකාරයටම කාබනික පොහොර භාවිතය ප්‍රවර්ධනය කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කොට තිබේ.

ජනාධිපති රාජපක්ෂ මහතා සිය ප්‍රතිපත්ති මාලාව එසේ ක්‍රියාවට නැංවීම ආරම්භ කළද ගෙවුණු වසර දෙකේම මුහුණ දෙන්නට සිදුවූ කොවිඩ් වසංගතයෙන් එල්ලවූ බලපෑමද සුළුපටු නොවීය. ජනාධිපතිවරණයේදී රාජපක්ෂට ලැබුණු ජනවරම අනුව වසර පහක කාලයක් ජනාධිපතිවරයා ලෙස සිය දැක්ම රට තුළ ක්‍රියාවට නැංවීමේ නිදහස ජනාධිපතිවරයා සතුය. එහෙත් වසර පහෙන් වසර දෙකක්ම කොවිඩ් මැද ගෙවී ගොස් අවසන්ය. එකී වසර දෙක තුළ රට වසාතැබීම්, සංචරණ සීමා පැනවීමට ජනාධිපතිවරයාට සිදු විය. එම තීන්දුවල ප්‍රතිඵලය ලෙසින් දරුණු ආර්ථික අර්බුදයකට රට මුහුණදී සිටී. ජනාධිපතිවරණයෙන් පසු රට භාරගන්නා අවස්ථාවේ නොතිබූ අභියෝගවලට මුහුණදීමට ජනාධිපති රාජපක්ෂට සිදුව තිබේ. සෞභාග්‍යයේ දැක්ම ඉදිරියට ගෙනයාමට සිදුව ඇත්තේ එවන් පසුබිමක් තුළය. සිය ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් අභියෝග මෙන්ම කොවිඩ් මැද එල්ලවූ නව අභියෝගත් ජය ගනිමින් ඉදිරි තෙවර්ෂයේ රටට සෞභාග්‍ය උදා කරන්නට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමත්වනු ඇත්දැයි ජනතාව බලා සිටිති.

(ධනුෂ්ක ගොඩකුඹුර – දිනමිණ)

More articles

Latest article