29 C
Colombo
සිකුරාදා, මැයි 24, 2024

ප්‍රියන්ත කුමාර ඝාතනයේ ප්‍රධාන සැකකරුවන් ඇතුළු 124ක් අත්අඩංගුවට

Must read

ප්‍රියන්ත කුමාර දියවඩන නම් ශ්‍රී ලාංකික ඇඟලුම් කම්හල් සාමාන්‍යාධිකාරිවරයා ඝාතනය කිරීමට සම්බන්ධ ප්‍රධාන සැකකරු ඇතුළු පුද්ගලයන් 124 දෙනකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඉන් 19 දෙනකු රක්ෂිත බන්ධනාගාරගත කළ බව පකිස්තාන මාධ්‍ය වාර්තා කර ඇත.

මෙලෙස අත්අඩංගුවට ගත් අය අතර මෙම ඝාතනයේ ප්‍රධාන සැකකරුවන් වන ටී.එල්.පී හෙවත් ‘ටෙහෙරික් ඊ ලබ්බයික්’ නම් දැඩි මතධාරී දේශපාලන සංවිධානයේ ප්‍රබල අනුගාමිකයන් දෙදෙනකු වන ෆර්හාන් ෆෙරෝස් ඉද්‍රීස් නම් පුද්ගලයා සහ උෂ්මාන් රෂීඩ් යන පුද්ගලයා ද වන බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ.

සීසීටීවි කැමරා දර්ශන 160ක් සහ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වන වීඩියෝ පට ඔස්සේ කළ විමර්ශන මගින් මෙම අත්අඩංගුවට ගැනීම් සිදු කළ බවත් අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර වයස අවුරුදු 30ට වැඩි බහුතරයක් සිටින බවත් එරට ආරක්ෂක අංශ සඳහන් කරයි.

මීට අමතරව 900 දෙනකුට එරෙහිව මූලික පරීක්ෂණ වාර්තා ගොණු කර ඇති බවත් සැඟවී සිටින සැකකරුවන් මුහුණු හඳුනාගැනීමේ තාක්ෂණය ඔස්සේ සෙවීම් කටයුතු කරන බවත් ආරක්ෂක අංශ පවසති.

මේ අතර ඝාතනයට ලක්වූ දියවඩන මහතාගේ දේහ කොටස් ශ්‍රී ලංකා රජයේ වියදමින් අද (06) ලාහෝරයේ සිට කොළඹට රැගෙන ඒමට නියමිත බව පාකිස්ථානයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් වයිස් අද්මිරාල් මොහාන් විජේවික්‍රම මහතා සඳහන් කළේය.

මෙම ඝාතනය සම්බන්ධයෙන් ඉස්ලාමාබාද් හී ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය පකිස්තානයේ විදේශ කටයුතු අමාත්‍යාංශය වෙතින් විමර්ශන වාර්තාවක් ඉල්ලා ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

විපතට පත්වූ පාර්ශ්වයට වන්දි ගෙවීම සඳහා ඉස්ලාමාබාද් හී ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විදේශ අමාත්‍යාංශය සමඟ සම්බන්ධීකරණයෙන් පාකිස්තාන බලධාරීන් සහ මියගිය පුද්ගලයාගේ සේවා යෝජකයා සමඟ මේ වනවිට සාකච්ඡාවල නිරතව සිටින බවද අමාත්‍යාංශය සඳහන් කරයි.

කෙසේවෙතත් තවදුරටත් සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් හඳුනා ගැනීම සඳහා මේ වනවිට පංජාබ් හි විශේෂ පොලිස් කණ්ඩායම් 10ක් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ට නැවත අධිකරණයකින් ඇප ලබාගත නොහැකි වන අයුරින් ත්‍රස්තවාදී විධිවිධාන යටතේ නඩු පවරන බව පන්ජාබ් ආණ්ඩු මාධ්‍ය ප්‍රකාශක හසාන් කවාර් සඳහන් කළේය.

කෙසේ වෙතත් මෙම සිදුවීමත් සමඟ පාකිස්තානයේ සිටින සෙසු ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට මේ වනවිට විශේෂ ආරක්ෂක විධිවිධාන ක්‍රියාත්මක කර ඇති බවත් ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව පිළිබඳ බියක් ඇති කර නොගන්නා ලෙසත් පාකිස්තාන විදේශ ලේකම්වරයා අවධාරණය කර තිබේ.

ඉස්ලාමයේ නබි මුහම්මද්තුමාගේ නම සහිත පෝස්ටර් අපකීර්තියට පත් කළ බවට කර්මාන්ත ශාලා සේවකයන් කළ චෝදනාවක් මුල්කරගෙන හෝ එදින කර්මාන්ත ශාලාවේ පැවැති වැඩවර්ජනයක ප්‍රතිපලයක් ලෙස ප්‍රියන්ත දියව⁣ඩන මහතා මෙලෙස ඝාතනය කරන්නට ඇතැයි විමර්ශන අංශ සැක පළ කරති.

අදාළ කම්හලේ සේවකයන්ගේ විනය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරමින් කටයුතු කර ඇති ප්‍රියන්ත කුමාර මහතාගේ ක්‍රියාකලාපයට කම්හලේ ඇතැම් පුද්ගලයන් අකැමැත්තෙන් පසුවූ බව එම වාර්තාවල සඳහන්ය.

කම්හලේ තාප්පයක තීන්ත ගෑමට සූදානම් කර තිබියදී ඔහු තාප්පවල තිබූ පැරණි පෝස්ටර් ඉවත් කිරීමට පියවර ගෙන ඇති අතර එහි එක් පෝස්ටරයක් ​​ආගමික මතභේදයකට තුඩුදුන් එකක් බැවින් ඇතැම් සේවකයෝ ඊට විරෝධය පළ කර තිබේ.

කුපිත වූ පිරිස් ප්‍රියන්ත මහතා සොයා ඔහුගේ කාර්යාල කාමරයට පැමිණීමට පෙර ඔහු ඉන් පිටතට දිවගොස් උඩුමහලේ ඇති සූර්ය පැනලයක් යට සැඟවී ඇති බවත් එම අවස්ථාවේ ඝාතකයන් එම ස්ථානයට ගොස් ඔහු සිය ග්‍රහණයට ගත් බවත් දැනට නිකුත් කළ නවතම සීසීටීවි දර්ශන මගින් අනාවරණය වී ඇත.

එම අවස්ථාවේ ප්‍රියන්ත මහතා ජීවිතය අයැද ආයාචනා කරන ආකාරයත්, එම ස්ථානයේම සිටින තවත් පිරිසක් ඔහු බේරාගැනීමට උත්සහ ගන්නා අවස්ථාවත් එම දර්ශන හී දැක්වේ.

පහරදීම හේතුවෙන් ප්‍රියන්ත මහතාගේ ශරීරයේ අස්ථි බිඳීයාමක් සිදුව ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණයෙන් තහවුරු වී ඇති අතර පිළිස්සී ඉතුරු වූ සිරුරු කොටස් දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ ඊයේ (05) සියල්කෝට් සිට ඉස්ලාමාබාද් නුවරට රැගෙන ආ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මෙවැනි සිදුවීමක් වන බවට සියල්කොට් පොලිස් ස්ථානය වෙත ඇමතුම ලැබීමෙන් පසු එම ස්ථානයට පැමිණීම සඳහා පොලීසිය කොපමණ කාලයක් ගත කළේද යන්න පිළිබඳවත් එරට පොලිස් දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් පවත්වයි.

එම ස්ථානයට පැමිණීම සඳහා පොලීසියට පළමු ඇමතුම ලැබී විනාඩි 17ක පමණ කාලයක් ගතවී ඇතැයිද සඳහන්ය.

මේ අතර සිද්ධිය වාර්තා වූ සැනින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා විදේශ කටයුතු අමාත්‍යාංශයට සහ පාකිස්ථානයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයට ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ කඩිනමින් උපදෙස් දීමට පියවර ⁣ගත්හ.

මේ අතර පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා මේ පිළිබඳ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අවධාරණය කර සිටියේ ශ්‍රී ලාංකිකයකු පුළුස්සා මරාදැමීමේ සිද්ධිය පාකිස්තානයට ලජ්ජාව ගෙනදුන් දිනයක් බවත් සිද්ධියට වගකිව යුත්තන්ට නීතියෙන් දැඩි දඬුවම් ලබාදෙන බවත්ය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දුරකථන ඇමතුමක් දෙමින් පාකිස්ථාන අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මේ පිළිබඳ වන විමර්ශන දෙස තමා ඉතා දැඩි සැලකිල්ලකින් යුතුව අවධානය යොමුකරන බවත් ප්‍රියන්ත මහතා ඉහළ වෘත්තීය නිපුණත්වයකින් යුතුව දීර්ඝ කාලයක් පාකිස්තානයේ සේවය කළ කළමනාකරුවකු බවත්ය.

ශ්‍රී ලංකා-පාකිස්තාන දිගු කාලීන මිත්‍රත්තවය පළුලු වීමට කිසිදු ලෙසකින් ඉඩ නොතබන බවත් මෙම ඝාතනයට දෙවියන්ගෙන් මෙන්ම නීතියෙන්ද කිසිදු සමාවක් නොමැති බවත් පාකිස්තාන අගමැතිවරයා එහිදී සහතික වී ඇත.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ඉන්දියානු සාගර සමුළුවට සහභාගී වී සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන්⁣ මහතාට සඳහන් කර ඇත්තේ සහතික වූ අයුරින්ම මෙම සිද්ධිය සම්බන්ධව පියවර ගනු ඇතැයි විශ්වාස කරන බවත් එරට රැඳීසිටින අනෙකුත් සියලු ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව තහවුරු කරනු ඇතැයි අපේක්ෂා කරන බවත් මේ දක්වා ගෙන ඇති ක්‍රියාමාර්ග අගය කරන බවත්ය.

කුමන අයුරකින් පැමිණිය ද අන්තවාදී ක්‍රියාකාරකම් සමස්ත සමාජයම ව්‍යාකූල කරන බවත් අන්තවාදයට එරෙහිව ලෝකයම එකම අරමුණක සිට ක්‍රියාකළ යුතුව ඇතැයි ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර ඇතැයිද ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

එමෙන්ම මෙම අවාසනාවන්ත සිදුවීමෙන් කම්පනයට පත් ප්‍රියන්ත මහතාගේ පවුලේ සමීපතමයන් සමඟ තමාත්, රජයත්, සමස්ත ලාංකික ජනතාවත් සිටින බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අවධාරණය කර සිටියේ පකිස්තානයේදී ප්‍රියන්ත දියවඩන මහතාට අන්තවාදී මැර පිරිසක් විසින් එල්ල කරන ලද ම්ලේච්ඡ හා මාරාන්තික ප්‍රහාරය දැකීමෙන් තමන් කම්පා වූ බවයි.

එසේම ඔහුගේ බිරිය සහ පවුලේ අය වෙත සංවේගය පළ කරන අතරම අගමැති ඉම්රාන් ඛාන් මෙම සිද්ධියට සම්බන්ධ සියලු දෙනා නීතිය ඉදිරියට පමුණුවාලීමට කැපවනු ඇතැයි ශ්‍රී ලාංකික ජනතාව විශ්වාසයෙන් පසුවන බවද අග්‍රාමත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

පාකිස්තානයේ සියල්කොට් හීදී පසුගිය (03දා) දහවල් මෙලෙස ඝාතනයට ලක්වූයේ එහි ඇඟලුම් කර්මාන්ත ශාලාවක සාමාන්‍යාධිකාරීවරයකු ලෙස සේවය කළ ප්‍රියන්ත කුමාර දියවඩන නමැති ගණේමුල්ල, පොකුණ හංදියේ පදිංචි වයස අවුරුදු 14ක සහ 09ක දරුවන් දෙදෙනකු සිටින පියෙකි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු උපාධිය හැදෑරු ප්‍රියන්ත මහතා 2010 වසරේදී පාකිස්තානයේ ක්‍රසන්ට් ටෙක්ස්ටයිල්ස් ඇඟලුම් කර්මාන්ත ශාලාවේ මුල්වරට සේවයට එක්වුණු අතර අනතුරුව ඝාතනයට ලක්වූ පන්ජාබ් පළාතේ සියල්කොට් හී රාජ්කෝ ක්‍රීඩා උපකරණ කම්හලේ සේවයට එක්වී ඇත්තේ 2012 වර්ෂයේදීය.

පාකිස්තාන විස්සයි විස්ස කණ්ඩායමේ නිල ඇඳුම් සකස් කිරීම සිදුවන්නේ ද ප්‍රියන්ත මහතා සේවය කරන ක්‍රීඩා උපකරණ කම්හලෙන් බව එරට මාධ්‍ය වාර්තා කරයි.

හදිසියේ සිය සැමියා අනපේක්ෂිත ලෙස ඝාතනය කිරීම තමා ඇතුළු පවුලේ සියල්ලන් භීතියට සහ කම්පනයට පත් කළ බවත් ඉතා අහිංසක පුද්ගලයකු වන තම සැමියා ඝාතනය කළ පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර තම පවුලට සාධාරණයක් ඉටු කරන මෙන් මෙරට ජනාධිපතිවරයාගෙන් සහ පාකිස්තානයේ අගමැතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් ප්‍රියන්ත මහතාගේ බිරිය සඳහන් කළාය.

More articles

Latest article