28.8 C
Colombo
ඉරිදා, මැයි 26, 2024

ආණ්ඩුව පෙරළා දැමීමට රාජ්‍ය නොවන සංවිධාන තැත් කරනවා – රුහුණු මාගම්පත්තුවේ අධිකරණ සංඝනායක කපුගම සරණතිස්ස නාහිමි

Must read

රටේ පවතින අසීමිත නිදහස ප්‍රයෝජනයට ගෙන, වත්මන් රජය පෙරළා දැමීමට රාජ්‍ය නොවන සංවිධාන උත්සාහ දරමින් සිටින බවට විශ්වාසදායී ආරංචි ඔස්සේ දැන ගැනීමට ලැබී තිබෙන බව රුහුණු මාගම්පත්තුවේ අධිකරණ සංඝනායක කතරගම ශ්‍රී අභිනවාරාම විහාරාධිපති ශාස්ත්‍රපති කපුගම සරණතිස්ස නාහිමියෝ පෙන්වා දෙති.

මේ සඳහා විවිධ වෘත්තීය සමිති නායකයන් ඒකරාශී කර ගෙන තිබෙන බවද උන්වහන්සේ පෙන්වා දෙති.

උන්වහන්සේ මේ බව පැවසුවේ, ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය, භෞමික අඛණ්ඩතාවය, ඒකීයභාවය සුරැකීම වෙනුවෙන් මහජන එක්සත් පෙරමුණ හා ජාතික සංවිධාන ඵෙතිහාසික කිරිවෙහෙර ඉදිරිපිට වසරක් පාසා පවත්වන සත්‍යක්‍රියාව වෙනුවෙන් පෙරේදා (4) අනුශාසනාවක් කරමිනි. අධ්‍යාපන ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙවර එම සත්‍යක්‍රියාව පැවැත්වූයේ 27 වැනි වරටය.

රටේ පවතින අසීමිත නිදහස රට ගොඩනැඟීම අමාරු තත්ත්වයට පත් කොට ඇති බවද කපුගම සරණතිස්ස නාහිමියෝ එහිදී පෙන්වා දුන්හ.

එදා මෙරට සිටි ඒකාධිපති රජවරු හැදූ වැව් අමුණු නිසා අදත් අපි කා බී හොඳින් ජීවත් වන බව පැවසූ උන්වහන්සේ, ඒකාධිපතිත්වය නැතිවුණු හැම තැනම ඇතිවෙන්නේ බරපතළ අවුලක් හා විනාශයක් බවත් පැවසූහ.

වැඩිදුරටත් අනුශාසනා කළ රුහුණු මාගම්පත්තුවේ අධිකරණ සංඝනායක කතරගම ශ්‍රී අභිනවාරාම විහාරාධිපති ශාස්ත්‍රපති කපුගම සරණතිස්ස නාහිමියෝ,

අපට මතකයි ඉන්දියාවෙන් පවා ඇවිත් විවිධ බලපෑම් සිදුකළා. ඉන්දියාව එක් අවස්ථාවක උතුරු නැඟෙනහිරට ගුවනින් ආහාර දැමීමෙන් එවකට පැවති රජයට අභියෝගයක් එල්ල වුණා. ත්‍රස්තවාදීන් මෙසේ ශක්තිමත් වෙද්දී විදේශ රාජ්‍යයන් අපිත් එක්ක සම්බන්ධ කර ගන්නේ කොහොමද කියලා අපේ රාජ්‍ය නායකයන්ට ලොකු ප්‍රශ්නයක් ඇති වුණා. නමුත් වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාත්, වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාත් ඒකරාශී වීම හරහා අපට හැකියාව ලැබුණා එදා විරුද්ධවාදී වූ රටවල් පක්ෂපාතී කර ගන්න. දිනේෂ් ගුණවර්ධන මහතා ඒ සඳහා මූලිකව කැපකිරීමක් කළා. ඒ අනුව, මේ රටේ රාජ්‍ය නායකයන් අමු අමුවේ මහ පාරේ මරා දැමූ, අපට බස් රියක, දුම්රියක යන්න බැරිව තිබූ කාලයක මේ පිරිස ඒකරාශී වෙලා තිස් අවුරුදු යුද්ධය නිමා කිරීමේ ශාන්ති කර්මය තමයි අද 27 වෙනි වරටත් පවත්වන්නේ.

නමුත් අද ලංකාව හරියට ළිඳක ඉන්න මැඩියෙක් වගේ. මොන තරම් අවාසනාවක් ද? අමෙරිකාව, බ්‍රිතාන්‍යය වගේ රටවල් වැටෙද්දී, ඒ වගේ ලෝකයේ සෑම රටක්ම වැටෙද්දී ඒක අපට විශාල ප්‍රශ්නයක් බවට පත්වෙලා. එදා තිබූ ත්‍රස්තවාදය ඇහැට පේන සතුරෙක්. අද කොරෝනාව නොපෙනෙන මහා දරුණු සතුරෙක් බවට පත් වෙලා හමාරයි. ත්‍රස්තවාදයට වඩා භයානක සතුරෙක් එක්කයි අද වර්තමාන රජයට කැප කිරීම් කරන්න වෙලා තිබෙන්නේ. ඒ නිසා අපි දන්නවා අපි බලාපොරොත්තු වූ සමෘද්ධිය නම් ළංකර ගන්න අමාරුයි. හේතුව ලෝකයම වගේ අපේ රටත් ආර්ථික අතින් වැටිච්ච මොහොතක් නිසා.

එදා අපේ ඒකාධිපති රජවරු හදපු වැව් අමුණු ටික නිසා අද අපි කා බී හොඳින් ජීවත් වෙනවා. ඒ නිසා මම හිතනවා කිසියම් ඒකාධිපතිත්වයක් අවශ්‍යමයි රටක් දියුණු කරන්න. ඒ ඒකාධිපතිත්වය නැතිවුණ හැම තැනම ඇතිවෙන්නේ බරපතළ අවුලක්, විනාශයක්. මට ලැබී තිබෙන විශ්වාසවන්ත තොරතුරු අනුව, දැන් රටේ තිබෙන සරලභාවය නිසා රාජ්‍ය නොවන සංවිධාන මේ රජය පෙරළා දැමීම සඳහා විවිධ අය ඒකරාශි කර ගෙන තිබෙන බව දැන ගන්න ලැබී තිබෙනවා. ඒ සඳහා විවිධ වෘත්තීය සමිති නායකයන් ඒකරාශී කර ගෙන තිබෙන බව අපි දන්නවා. ඇමැතිවරුන්ට කරකියා ගන්න ඉඩ නොදෙන තත්ත්වයට ඒ අය ක්‍රියා කරන බවත් අපි දන්නවා.

වත්මන් රජය කොරෝනා වසංගතයෙන් ජනතාව ආරක්ෂා කර ගන්න අවශ්‍ය ඉන්ජෙක්ෂන් ටික ගෙන එන්න කෝටි ගණන් ධනය වැය කළා. මේ සඳහා අවශ්‍ය වන්නේ ඩොලර්. අපේ රටේ මිනිස්සු දුක දරාගෙන මේ රට ගොඩනඟා ගන්න උත්සාහ කළ ජාතියක්. කීප දෙනෙක් විද්‍යුත් මාධ්‍යයෙන් කෑගැහුවාට මම හිතන්නේ නෑ ඔලුවක් තිබෙන මිනිස්සු, ලෝකය පිළිබඳ දන්න මිනිස්සු ඒ විදිහට කෑගහනවා කියලා. අමෙරිකාව, බ්‍රිතාන්‍යය වැනි රටවල් වසා දැමුවා. ජපානය අදත් වසා තිබෙනවා. ඒ නිසා අපේ රටට විදේශිකයෝ එන්නේ නෑ.

අධ්‍යාපන ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා –

ඉතා භයානක කොවිඩ් වසංගතය රට තුළ කළමනාකරණය කර ගැනීමට අවශ්‍ය ශක්තිමත් නායකත්වය ලබා දෙන්න ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හැකියාව ලැබී තිබෙනවා. අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේත් දායකත්වය ඇතිව ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් අද අපට ඒ තත්ත්වය ඇති කර ගන්න හැකියාව ලැබී තිබෙනවා. රටේ නායකත්වයට අවශ්‍ය ශක්තිය, ආශිර්වාදය ලබා දෙන්න මහ සඟරුවන ඉතිහාසය පුරා මේ කිරිවෙහෙර පූජා භූමියට වැඩම කරන්න ඇති. බුදුරජාණන් වහන්සේගේ පාද ස්පර්ශයෙන් පෝෂිත වූ මේ පුණ්‍ය භූමිය වෙත මහරහතන් වහන්සේ, මහ සඟරුවන, රජ දරුවන්, රට වැසියන් ශත වර්ෂපුරා පැමිණ තිබෙනවා. පුද පූජා පවත්වා තිබෙනවා. ඒ අධිෂ්ඨාන ශක්තිය යළි ඇති කිරීම සඳහා අද මේ මහා පින්කම පවත්වනවා.

මාතෘ භූමිය ආරක්ෂා කරන්න රණවිරුවන් ජීවිත පූජාවෙන් කටයුතු කළා. වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිතුමා හැටියට එදා රට එක්සේසත් කළා. ත්‍රස්තවාදය පැරැද්දුවා. රට බෙදීම වළක්වන්න පුළුවන් දැවැන්ත ජයග්‍රහණයකට භූමිය ගෙනාවා. ඒ වෙනුවෙන් දිවිදුන් හැම රණවිරුවෙක්ම ගෞරවයෙන්, කෘතවේදීත්වයෙන් මේ අවස්ථාවේ සිහිපත් කරනවා. අප රට ආරක්ෂා කරන්න කටයුුතු කළ, ඒ වගේම දිවිදුන් රාජ්‍ය නායකයන්, විවිධ වගකීම් දැරූ සියලුදෙනාත් මේ අවස්ථාවේ අපි යළිත් සිහිපත් කරනවා.

සාංඛපාල රජමහා විහාරයේ භාරකාර කොකාවල කොසල නාහිමි, කිරිවෙහෙර තේවාව බාර තලගල ඥානින්ද හිමි, මාලේවන ධර්මවිජය හිමි, හංවැල්ල ආටිගල ශ්‍රී සුගතබිම්බාරාම විහාරාධිපති මඩවල තැන්නේ ජිනරත හිමි, ආචාර්ය කිඹුල්කැටියේ නාහිත හිමි, කතරගම සද්ධාසෝම පිරිවෙන් විහාරාධිපති ශාස්ත්‍රපති නවගමුවේ මෛත්‍රී හිමි,පුංචි සීගිරියේ විහාරාධිපති බඹරවාන සද්ධාතිස්ස හිමි, තංගල්ලේ ගෞතම හිමි ඇතුළු සංඝරත්නය ද, රාජ්‍ය ඇමැති සිසිර ජයකොඩි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන යදාමිනි ගුණවර්ධන, ජගත් පුෂ්පකුමාර, රුහුණු කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිල්ශාන් ගුණසේකර, හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් වන සමන්මලී සකලසූරිය, සලෝචන ගමගේ, මහජන එක්සත් පෙරමුණේ පළාත් පාලන ආයතන ප්‍රධානීහු ද මේ අවස්ථාවට සහභාගී වූහ.

More articles

Latest article