29 C
Colombo
සිකුරාදා, මැයි 24, 2024

උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය විදේශ විනිමය උත්පාදකයක් බවට පරිවර්තනය කළ යුතුයි – ජනපති

Must read

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය ආර්ථිකයට විදේශ විනිමය උපයා දෙන ආදායම් උත්පාදකයක් බවට පරිවර්තනය කළ යුතු යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ කොළඹ බණ්ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේ ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ 2021 උපාධි ප්‍රදානෝත්සවයට ඊයේ (09) එක්වෙමිනි.

රට ශීඝ්‍රයෙන් දියුණු වී අනාගතයේ සමෘද්ධිමත් ජාතියක් බවට පත්වීමට නම්, ශ්‍රී ලංකාවට අවශ්‍ය වන්නේ උසස් අධ්‍යාපන ව්‍යුහයේ පුළුල් වෙනසක් බව ද ජනාධිපතිවරයා එහිදී කීවේය.

විශ්වවිද්‍යාල සිසුන් කුමන උපාධි පාඨමාලාවක් හැදෑරුව ද ඔවුන් සියලුදෙනාම අවම වශයෙන් තොරතුරු තාක්ෂණය පිළිබඳ යම් ප්‍රවීණතාවක් ලබා තිබිය යුතු බවත්, වර්තමාන ලෝකය ජය ගැනීමට අවශ්‍ය අනෙකුත් නිපුණතාවලින් ද සමන්විත විය යුතු බවත්, ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළේය.

දිවයින පුරා විශ්වවිද්‍යාලවලට ඇතුළත්කර ගන්නා සිසුන් ප්‍රමාණය දස දහසකින් වැඩිකිරීම වත්මන් රජය ලැබූ එවැනිම ජයග්‍රහණයක් බව ද ජනාධිපතිවරයා කියා සිටියේය. රාජ්‍ය විශ්වවිද්‍යාලවලින් පරිබාහිර උසස් අධ්‍යාපනය ලබාදෙන ආයතන උපාධි විකුණන අධ්‍යාපන කඩ බවට පවතින පැරණි විරෝධතාවල කිසිඳු අර්ථයක් නැති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා උපාධිය ලැබීමෙන් පසු රැකියා වෙළඳ පොළේ අවස්ථා ලබාදීමට හැකියාවක් නොමැති විශ්වවිද්‍යාල සිසුන් විසින් තෝරා නොගනු ඇති බව ද සඳහන් කළේය.

ආරක්ෂක අධ්‍යයනය, කළමනාකරණ, ව්‍යාපාර කළමනාකරණ, නීති, වෛද්‍ය, ඉංජිනේරු ප්‍රවර්ධන කළමනාකරණ, කාර්මික විද්‍යාව, සමාජ විද්‍යාව, සම සෞඛ්‍ය විද්‍යාව සහ නිර්මිත පරිසර හා අවකාශ විද්‍යාව යන විෂය ක්ෂේත්‍ර ආවරණය කරමින් විද්‍යාර්ථයන් 1408 දෙනකු සඳහා උපාධි පිරිනැමින. ආචාර්ය උපාධිධාරියකු, පශ්චාත් උපාධි සහ පශ්චාත් උපාධි ඩිප්ලෝමාධාරීන් මේ අතර වෙති. ප්‍රථම උපාධිධාරීන් ගණන 1180කි.

දක්ෂතම යුද හමුදා නිලධාරියා ලෙස කැඩෙට් නිලධාරී එස්.එච්. රොද්‍රිගු, දක්ෂතම නාවික හමුදා නිලධාරියා ලෙස ලුතිතන් එස්.ඩී. කරුණාසේන, දක්ෂතම ගුවන් හමුදා නිලධාරියා ලෙස පියාසර නිලධාරී එස්.කේ.එස්. රුක්ෂාන්, අතිශූර නිලධාරියා ලෙස ලුතිතන් එල්.ඩී.අයි. ලියනාරච්චි යන නිලධාරිහු ජනාධිපතිවරයා අතින් තිළිණ ලැබූහ.

අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල, තානාපතිවරු සහ මහ කොමසාරිස්වරු, ආරක්ෂක ලේකම් සහ අමාත්‍යාංශ ලේකම්වරු, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පති, සිවිල් ආරක්ෂක බලකායේ අධ්‍යක්ෂ ජෙනරාල් ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීහු, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ කුලපති ජෙනරල් ජෙරාඩ් ද සිල්වා, උප කුලපති මේජර් ජෙනරල් මිලින්ද පීරිස් සහ කොතලාවල විශ්වවිද්‍යාලයේ අධ්‍යයන, අනධ්‍යදන කාර්ය මණ්ඩල සාමාජිකයෝ මේ අවස්ථාවට එක්ව සිටියහ.

More articles

Latest article