29 C
Colombo
සිකුරාදා, මැයි 24, 2024

ඝාතනයට ලක් වූ ප්‍රියන්තගේ පවුලට විදේශ අමාත්‍යාංශයෙන් ප්‍රදානයක්

Must read

පාකිස්තානයේ සියල්කෝට්හි දී ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාර මහතාගේ පවුලේ සාමාජිකයන් වෙත මූල්‍ය ප්‍රදානයක් සිදු කිරීමට විදේශ කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

ඒ අනුව සියල්කොට් ප්‍රදේශයේ දී මැර පිරිසක් විසින් අමානුෂික ලෙස ඝාතනය කරන ලද ප්‍රියන්ත කුමාර මහතාගේ පවුලේ සාමාජිකයන් වෙත විදේශ අමාත්‍යංශයේ පැවති උත්සවයක දී ඊයේ (15) විදේශ ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා විසින් මූල්‍ය ප්‍රදානයක් සිදුකෙරිණි.

ප්‍රියන්ත කුමාර මහතාගේ ඛේදනීය වියෝව සම්බන්ධයෙන් පවුලේ ඥාතීන් වෙත සිය බලවත් ශෝකය පළකළ ඇමැතිවරයා, මේ මොහොතේ දී ප්‍රධාන අවධානය යොමු වී ඇත්තේ ප්‍රියන්ත කුමාර මහතාගේ දරුවන් දෙදෙනාගේ අනාගතය සහ පවුලේ ආර්ථික සුරක්ෂිත භාවය තහවුරු කිරීම කෙරෙහි බව සඳහන් කළේය. මේ පිළිබඳව අදහස් දැක්වූ ඇමැතිවරයා, මියගිය ප්‍රියන්ත කුමාර මහතාගේ පවුල වෙත උපකාර කිරීම සඳහා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සමඟ සාකච්ඡා කරමින් සිටින බවද ප්‍රකාශ කළේ ය.

මෙම නඩුව විභාග කිරීම සඳහා පාකිස්තානය තුළ නිසි වැඩපිළිවෙලක් ස්ථාපනය කොට ඇති බව ශ්‍රී ලංකාවේ පාකිස්තාන වැඩ බලන මහ කොමසාරිස්වරයා දැනුම් දී ඇති බව ඇමැතිවරයා සඳහන් කළේ ය. ප්‍රියන්ත කුමාර මහතාගේ පවුල වෙත ඇමරිකානු ඩොලර් ලක්ෂයක් ලබා දීමට සියල්කොට් ප්‍රදේශයේ ව්‍යාපාරික ප්‍රජාව එකඟ වී තිබේ.

විදේශ අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා සහ විදේශ අමාත්‍යංශයේ නිලධාරීහු ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

More articles

Latest article