25 C
Colombo
අඟහරුවාදා, මැයි 21, 2024

අන්තර්ජාල වෙළඳාමේ නීති සංශෝධනයට සාකච්ඡා

Must read

අන්තර්ජාලය ඔස්සේ වෙළදාම් කටයුතු සිදු කිරීමේදී පවතින වාණිජ නීති රාමුව ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් අදාළ පාර්ශ්ව සමග විශේෂ සාකච්ඡාවක් ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය හා ඩිජිටල් තාක්ෂණ කටයුතු පිළිබද රාජ්‍ය අමාත්‍ය නීතිඥ නාමල් රාජපක්ෂ මැතිතුමාගේ හා ගරු අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මෙම අවස්ථාව සදහා මාර්ග ගත ක්‍රමය (ONLINE) ඔස්සේ වෙළදාම් කටයුතු සිදු කරනු ලබන මෙරට ප්‍රධාන පෙළේ වෙළද ආයතන කිහිපයක නියෝජිතයින් එක්ව සිටි අතර ඔවුන් අන්තර්ජාලය හරහා වෙළදාම් කටයුතු සිදු කිරීමේදී මුහුණ දෙන ගැටළු හා ඒ සදහා ශක්තිමත් නීති රාමුවක් පැවතීමේ අවශ්‍යතාවය පිළිබඳව අදහස් පළ කළේය.

මාර්ග ගත ක්‍රමය ඔස්සේ වෙළදාම් කටයුතු සිදු කරනු ලබන ව්‍යාපාරික ආයතනයන් මෙන්ම පාරිභෝගිකයින් යන දෙපාර්ශ්වයටම සාධාරණය ඉටු වන පරිදි හා අයිතීන් සුරක්ෂික වන අයුරින් නව නීති හදුන්වා දීමේ වැදගත්කම මෙහිදී අවධාරණය කෙරිණි.

මේ සම්බන්ධව මේ වන විටත් සිදු කර ඇති පර්යේෂණ වාර්තාවන් ද අධ්‍යනය කරමින් නව නීති හදුන්වා දීම හා සංශෝධනය කිරීම සිදු කළ යුතු ආකාරය පිළිබඳව මෙහිදී සාකච්ඡා කළ අතර මෙයට සෘජුවම සම්බන්ධ වන ආයතන හා පාරිභෝගිකයන්ගේ අදහස් විමසා අදාළ නීති රාමුව සකස් කිරීම වැදගත් බවත්, වාණිජ නීති පද්ධතිය (e – Commerce) සමාලෝචනයට පත් කොට ඇති කමිටුව හා මාර්ග ගත ක්‍රමය (ONLINE) ඔස්සේ වෙළදාම් කටයුතු සිදු කරනු ලබන නියෝජිත ආයතන මේ පිළිබදව තවදුරටත් සාකච්ඡා කර නීති රාමුව ශක්තිමත් ලෙස සකස් විය යුතු බවටත්, අමාත්‍යවරුන් මෙහිදී උපදෙස් ලබා දුන්නේය.

අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ.මායාදුන්නෙ,අමාත්‍යාංශයේ අතිරේක ලේකම් තුෂාර සුරවීර,අධිකරණ අමාත්‍යාංශය යටතේ පවතින වාණිජ නීති ප්‍රතිසංස්කරණ අනු කමිටුවේ විද්‍යුත් වාණිජ නීති පද්ධතිය (e – Commerce) සමාලෝචනයට පත් කොට ඇති කමිටුවේ සභාපති ආචාර්ය සුනිල් අබේරත්න, ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන තාක්ෂණ ආයතනයේ ප්‍රධාන නීති නිලධාරී ජයන්ත ප්‍රනාන්දු, ජ්‍යෙෂ්ඨ නීතිඥ චානක්‍ය ජයදේව, ගරු අධිකරණ අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් නීතිඥ ජනක රණතුංග යන මහත්වරුන් ඇතුළු මාර්ග ගත ක්‍රමය ඔස්සේ වෙළදාම් කටයුතු සිදු කරනු ලබන මෙරට ප්‍රධාන පෙළේ ආයතනයන්හි නියෝජිතයින් ද එක්ව සිටියහ.

More articles

Latest article