32 C
Colombo
සිකුරාදා, අප්‍රේල් 19, 2024

ගෝඨා ජනාධිපති මන්දිරයෙන් රැගෙන යාමේ මෙහෙයුම: “සර් හිටියොත් ඒ අයට අනිවාර්යයෙන්ම වෙඩි තියලා හරි නවත්වන්න අපිට සිද්ධ වෙනවා”

Must read

ජනතාව විසින් ජනාධිපති මන්දිරය වටලන අවස්ථාවේදී එම මන්දිරය අභ්‍යන්තරයේ සිදුවූ දෑ පිළිබඳව මාධ්‍යවේදී තිස්ස රවීන්ද්‍ර පෙරේරා මහතා සති අන්ත අරුණ පුවත්පතට තැබූ සටහනක් මේ.

මේ ලිපිය ලියන මොහොතේ ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනපතිවරයා සිටින්නේ සිංගප්පූරුවේය. ඒ ශ්‍රී ලංකා යුද හමුදා සාමාජිකයන් දෙදෙනකුගේ රැකවල් මැදය. හිටපු ජනපතිවරයා සිංගප්පූරුවෙන් කොහි යාවි දැයි තවමත් ප්‍රසිද්ධ වී නැත. ජනපති ධුරයෙන් ඉල්ලා අස් වී ලංකාවෙන් යාමට මිනිත්තු කිහිපයකට පෙර ගෝඨාභය රාජපක්ෂ මුහුණ දුන් බිහිසුණු අත්දැකීම් පෙළක් ගිය සතියේ අරුණේ ලියැවුණේය.

එනමුත් ඒ කතාව එතැනින් නතර වන්නේ නැත. ජනපතිවරයා ජනපති මන්දිරයෙන් පිටව ගිය මොහොතේ වූ කතාන්දරවල හොඳම හරිය එළියට එන්නේ දැන්ය.

ජනපතිවරයා සඳුදා ලංකාවෙන් යාමට පෙර ඔහුගේ ජීවිතය බේරා ගැනීමේ අවසන් මෙහෙයුමට නියෝග ගන්නේ ජනපති මන්දිරය තුළ ස්ථාපිත කළ ත්‍රිවිධ හමුදා හා පොලිස් ඒකාබද්ධ මෙහෙයුම් මැදිරියය. ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්නද ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ, නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, යුද හමුදාපති ලුතිනන් ජනරාල් විකුම් ලියනගේ සමග පොලිස්පති චන්දන වික්‍රමරත්නද එතැනය.

අරගලකරුවන් ජනපති භූමියට කඩා පනින්නට ගාලු මුවදොරින් ඉදිරියට ඇදෙමින් තිබිණි.

ආරක්ෂක ප්‍රධානීහු, පොලිස්, පොලිස් විශේෂ කාර්ය බළකා හා යුද, නාවික භට පිරිස් යෙදවූ ආරක්ෂක වැටවල් ගැන උපරිම විශ්වාසය තබා තිබූහ. එනමුත් රාජ්‍ය බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ, ත්‍රිවිධ හමුදාපතිවරුන්ගෙන් ඉල්ලා සිටියේ ආරක්ෂක වළල්ල කඩා බිඳ දැමීමට නොහැකිදැයි යළිත් වරක් පසු විපරමක් කරන ලෙසය. එවැනි පසු විපරමක් කරන ලෙස ඉල්ලීමක් කළේ රාජ්‍ය බුද්ධි සේවාවේ ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලෛයි හා සන්නද්ධ බුද්ධි අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් චන්දික මහතන්තිලට ලැබෙන තෙරතුරු අනුව ස්ථිර වශයෙන්ම අරගලකරුවන් ආරක්ෂක වළල්ල කඩා ජනපති මන්දිරයට ඇතුළුවන බව නිගමනය කර තිබූ බැවිනි. ජාතික බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරාල් රුවන් කුලතුංගත් මේ ගැන ආරක්ෂක ලේකම්වරයාට දිගින් දිගටම වාර්තා කළේය.

බුද්ධි අංශ කල්තියාම අනතුරු අඟවා තිබුණේ ජනාධිපතිවරයාව ආරක්ෂිතව ඉවත් කිරීමට විකල්ප ක්‍රමවේද සැලසුම් කරන ලෙසය. ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ලෙස රාජකාරි කළ සමයේ සිට ඔහුගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියා ද වූ ජනාධිපති ආරක්ෂක සේනාවේ ප්‍රධානී මේජර් ජෙනරාල් සෙනරත් නිවුන්හැල්ල ඒ සඳහා විකල්ප ක්‍රම හතරක් ඒ වන විටත් නිලධාරින් සමග සාකච්ඡා කර සැලසුම් කර තිබිණි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ළඟම ආරක්ෂාව භාරව සිටින බ්‍රිගේඩියර් මහින්ද රණසිංහ හා බ්‍රිගේඩියර් මධුර වික්‍රමරත්න මෙම විකල්ප ක්‍රම ගැන දැනුවත්ව සිටි නිලධාරින් විය.

එක් පසුබැසීමේ සැලසුමකට අනුව නාවික හමුදාපතිත්, අනෙක් පසු බැසීමේ සැලසුම ගුවන් හමුදාපති යටතේත් කිරීමට සැලසුම් කර තිබිණි. ජනපතිවරයාට කල් තියාම ජනපති මන්දිරයෙන් රැගෙන යෑමට ආරක්ෂක නිලධාරින් සැලසුම් කළ ද ජනපතිවරයා ඊට කැමැති වූයේ නැත. යටත් විජිත සමයේ සිටම කොළඹ පිහිටි අධි ආරක්ෂිතම ස්ථානය මෙය විය. එල්ටීටීඊයේ කුරුම්බා ඇට්ටි මැෂිම ලෙස ව්‍යවහාරයේ යෙදුණු බෝම්බ හෙළන ගුවන් යානාවලින් ජනපතිවරුන් ආරක්ෂා කිරීමට යුද සමයේ තැනූ භූගත බංකරයද එහි විය. වෙඩි නොවදින වීදුරුවලින් ජනපතිවරුයාගේ පුද්ගලික කාමරයද ආවරණය කර තිබිණ. ඒ 2006 වසරේ පටන්ය. යටත් විජිත සමයේ වරායට ප්‍රවිෂ්ට වීමට ඉදිකළ උමං මාර්ගයක්ද එහි විය. ප්‍රභූ ආරක්ෂාවට යොදන වැඩිම භට සංඛ්‍යාව සහිත ජනපති ආරක්ෂක සේනාවද මන්දිරය ඇතුළේ වූහ.

මෙතරම් ආරක්ෂිත ස්ථානයක රැඳී සිටීම හැර වෙනත් තැනකට යෑමට ජනපතිවරයාගේ කැමැත්තක් නොවීය. මිරිහානේ නිවසින් මෙහි රැගෙන ආ පසුව ජනපතිවරයා එයින් පිටතට ප්‍රසිද්ධියේ පැමිණියේත් පාර්ලිමේන්තුවට හා රණවිරු සැමරුමට පමණකි. ජනපතිවරයාගේ ගමන් බිමන් හැකිතාක් සීමා කළේද ජීවිත තර්ජන නිසාය.

තත්ත්වය එන්න එන්නම බරපතළ බව නියමුවන් රහිත යානාවලින් ලබාගත් දර්ශනවලින්ද පැහැදිලි විය. අරගලකරුවන් ඒම වැළැක්වීමට පොලිසිය හා පොලිස් විශේෂ කාර්යා බළකායට දුන් ඉලක්කය බිඳ වැටෙන බව පෙනී යන්නට විය. පොලිසියේ හා පොලිස් විශේෂ කාර්ය බළකායේ කැරළි මර්දන කණ්ඩායම්වලින් විශාල ප්‍රතිරෝධයක් එල්ල නොවූයෙන් අරගලකරුවන් ඉදිරියට ඇදෙන්නට වූහ.

භූමියේ සිදුවන යථාර්ථය ජනපතිවරයාට කියන්නට ඉහළ නිලධාරීහු ඉදිරිපත් නොවූහ. මේ වන විට මේජර් ජෙනරාල් සෙනරත් නිවුන්හැල්ල, මේජර් ජෙනරාල් සුරේෂ් සලෛ බ්‍රිගේඩියර්වරුන් වන මහින්ද රණසිංහ එක තැනකට එක් වූහ.

‘‘මේක හරියන්නේ නෑ. අත්දැකීමත් එක්ක කියන්නේ. පැය භාගයයි තියෙන්නේ.අපි එච්. ඊ. (ජනාධිපති) කැමැති කරවාගන්න ඕනෑ. නැතිනම් උස්සාගෙන හරි යන්න ඕනෑ.’’ නිලධාරීහු අවසන් තීරණයකට පැමිණියහ. මේ අතරේ අරගලකරුවන් කඳුළු ගෑස් ප්‍රහාර මැද චැතැම් වීදියේ ආරක්ෂක වළලු බිඳිමින් සිටියහ. ජනපතිවරයා රැඳී සිටි උඩුමහලට ගිය නිලධාරින් ජනපතිවරයාට එම ස්ථානයෙන් පිටව යෑමට සූදානම් වන ලෙස ඉල්ලා සිටියහ. නමුත් ජනපතිවරයා ඊට අකැමැති වූයේය. හමුදා ආරක්ෂක වළලු බිඳ දැමීමට නොහැකිවන බවට ජනපතිවරයා විශ්වාස කළේ ය.

මේජර් ජෙනරාල් සුරේෂ් සලෛ දෙවතාවක්ම ජනාධිපතිවරයා වෙත ගොස් ජනාධිපති මන්දිරයෙන් ඉවත්ව යෑමට යෝජනා කළේය. ඒ දෙවතාවේදීම ජනාධිපතිවරයා ඔහුව හරවා යැව්වේ බොරුවට බය කරන්න එපා කියමිනි.

‘‘විඩ්‍රෝවල් රූට් එක නෙවෙයි ප්‍රශ්නයකට තියෙන්නේ. අපි එච්.ඊව එළියට ගන්න කැමැති කරගන්නේ කොහොමද කියන එකයි.’’ නිලධාරීහු කතිකා කරගත්හ.

බ්‍රිගේඩියර් මහින්ද රණසිංහ, බ්‍රිගේඩියර් මධුර වික්‍රමරත්න යන ආරක්ෂකයන් දෙදෙනා මේජර් ජෙනරාල් සලෛයි සමග යළි උඩුමහලට ගියහ.

‘‘සර් සිටුවේෂන් එක නරකයි. සර් දැන් මෙතැනින් යන්න ඕනෑ.’’ යළිත් අවධාරණය කළේය. ජනපති ආර්යාවටත්, මැඩම් දැන් අපි මෙතැනින යන්න ඕනෑ යැයි දැන්විය.

එහිදීත් ජනපතිවරයා වැඩි කැමැත්තක් නොදැක්වූයෙන් එහි සිටි ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් කමල් ගුණරත්න ‘‘සර් දැන් කට්ටිය ලයින් කඩාගෙන එනවා. අපි සර්ව මෙතැනින් ගෙනියන්න ඕනෑ’’ යැයි කියන්නට වූහ. තමා සමග ගජබා රෙජිමේන්තුවේ දිගු කළක් රාජකාරී කළ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාද ජනපති මන්දිරයෙන් ඉවත්ව යෑමට කළ ඉල්ලීමත් ජනපතිවරයා ප්‍රතික්ෂේප කරන්නට විය.

‘‘සර් පොලිසිය එයාලගේ ලයින් එක අල්ලාගෙන ඉඳියිද?’’ යැයි එහි සිටි පොලිස්පතිවරයාගෙන් විමසද්දී පොලිස්පතිවරයාගේ මතය වූයේ පොලිසිය ගැන විශ්වාසය තැබිය නොහැකි බවය. නාවික හමුදා භට පිරිස් ආරක්ෂක වළල්ල අල්ලාගෙන සිටීද යන්න විමසුවත් ඔහුත් එයට පිළිතුරු නොදැක්වීය.

‘‘සර් තවදුරටත් ලයින් ගැන විශ්වාස කරන්න බැහැ. තව විනාඩි පහක් ගියොත් ලයින් එක කඩනවා. සර් හිටියොත් ඒ අයට අනිවාර්යයෙන්ම වෙඩි තියලා හරි නවත්වන්න අපිට සිද්ධ වෙනවා’’ යැයි සැබෑ තත්ත්වය ආරක්ෂක ප්‍රධානීහු පෙන්වා දුන්හ. ජනපතිවරයා සිය මතය වෙනස් කළේ එම කතාව ඇසූ පසුවය. ඒ මොහොතේ ජනපති පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාරද ජනපතිවරයා සමීපයේ සිටියේය. ජනපතිවරයා මන්දිරයෙන් ඉවත්කර ගන්නා විට ජනපති පෞද්ගලික ලේකම්, රාජ්‍ය බුද්ධි ප්‍රධානියා හමු වූයේ ඉහළ මාලයට නගින තරප්පු පෙළ මැද වේදිකාවේය. ඔහු දුටුවේ රාජ්‍ය බුද්ධි ප්‍රධානියා කොට කලිසමක් ඇඳ සිටින අයුරුය. හරියට ඔහු උද්ගත වූ තත්ත්වයට අනුරූප වෙමින් සිටියේය. තමාට ජනපති මන්දිරයෙන් ඉවත්වන ලෙස දැනුම් දුන් රාජ්‍ය බුද්ධි ප්‍රධානියා සැරසී සිටි කොට කලිසම පිටින්ම ජනපති මන්දිරයෙන් එළියට බැස අරගලකරුවන් සිටින පැත්තෙන්ම කලබලයක් නැතිව ඉවතට යන අයුරු ජනපති පෞද්ගලික ලේකම්වරයා දුටුවේය.

මේ අතරේ විදුලි සෝපානයෙන් ජනපතිවරයා හා ආර්යාව රැගෙන ආරක්ෂක භට කණ්ඩායම ජනපතිවරයා ආරක්ෂිතව ගෙන යන එක් සැලැස්මක් ක්‍රියාත්මක කළේය. මෙය දැන සිටියේ නාවික හමුදාපති ඇතුළු සුළු පිරිසකි.

ඒ වන විටත් අනෙක් පසින් ආරක්ෂක ලේකම්වරයා සමග හමුදාපතිවරුන්, පොලිස්පති ඇතුළු ආරක්ෂක ප්‍රධානීන් ඉවත්ව ගියහ. ගජබාහු නෞකාවෙන් ආරක්ෂිතව ත්‍රිකුණාමලයට ගොස් එතැන් සිට හෙලිකොප්ටරයෙන් රත්මලානට රැගෙන ආ ජනාධිපතිවරයා මන්දිරයෙන් ගිය පසු ඔහුගේ නවාතැන්පොළවල් වූයේ ත්‍රිකුණාමලේ හා කටුනායකය.

ජූලි 13 දා හමුදා මූලස්ථානයේ දී හමුදා ප්‍රධානීන් සමග අවසන් සාකච්ඡාව පැවැත්වූ ජනපතිවරයා රාත්‍රී 12.00 ට කටුනායක ගුවන් කඳවුරට පැමිණ ගුවන් යානයට ගොඩ විය. මාලදිවයින් කථානායක මොහොමඩ් නෂීඩ්ට කතා කර මාලදිවයිනට යෑමට සූදානම් කර තිබුණද මාලදිවියිනේ ජනපතිවරයා ඒ ගැන දැනුවත් වී නොතිබිණි. මාලදිවයින් ජනාධිපති ඉබ්‍රාහිම් මොහොමඩ් සොලින් ඒ වන විට රැඳී සිටියේ මැකාවු දූපතේය. ජනාධිපතිවරයාට මාලදිවයින් ජනාධිපති සම්බන්ධ කර දීම කර දුන්නේ බුද්ධි අංශ ප්‍රධානියකුය. එම කතාබහේදී ගෝඨාභය රාජපක්ෂට මාලදිවයිනට ඒමට අවසර ලැබුණි.

ඒ අනුව ලද අවසරයෙන් මාලදිවයින බලා පැමිණීමට ගුවන් යානයට නැගි ජනපතිවරයා පැයක කාලයක් කටුනායක ගුවන්තොටුපොළේ රැඳී සිටියේ එරට ගුවන් ගමන් පාලක මණ්ඩලයේ අවසර ලැබෙනතුරුය. ඒ වනවිටත් මාලදිවයිනේදී ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට විශේෂ ආරක්ෂාවක් දී තිබුණි. කොහොම නමුත් මාලදිවයිනට එල්ල වූ ත්‍රස්ත තර්ජන පසු මාලදිවයින් හමුදාව පුහුණු කළේ ශ්‍රී ලංකා යුද හමුදාවය. එරට හමුදා නිලධාරින් රැසක් දියතලාව යුද හමුදා විද්‍යා පීඨය මෙන්ම බටලන්ද ආරක්ෂක විද්‍යාලයේද පුහුණුව ලබති. යුද හමුදාවේ ප්‍රධාන සේනාංකය වන පළමු බළකායේ ආඥාපති යුද හමුදා විශේෂ බළකායේ අධිපති ලෙස සිටි විශ්‍රාමික මේජර් ජෙනරාල් හරේන්ද්‍ර රණසිංහ යටතේ යුද හමුදාවේ විශේෂ බළකා භට කණ්ඩායමක් මාලදිවියින් හමුදාවට විශේෂ පුහුණුවක් දී තිබිණ.

ශ්‍රී ලංකාවෙන් ලද පුහුණුවට ප්‍රති උපකාරයක් ලෙස ශ්‍රී ලංකා ජනපතිවරයාට ආරක්ෂාව සපයා දෙන්නට එරට හමුදාව ඉදිරිපත් වූයේ දැඩි භක්තියකිනි. මාලදිවයිනේ සිට සිංගප්පූරුවට යෑමට ජනාධිපතිවරයා සූදානම් කිරීමත් අතිශය ගැටලුකාරී විය. ඒ අන්තර්ජාතික ගුවන් යානා තුනක්ම ඒ සඳහා අකැමැති වීමය. ජනපතිවරයාට එල්ල වූ විරෝධය හමුවේ ඔහුව රැගෙන යාමේ වගකීම ගුවන් සමාගම් භාර නොගත්හ.

ඉන්දියාවේ සිට ගුවන්ගත වූ යානයකින් සිංගප්පූරුවට යෑමට සූදානම් වූයේ ඉන්පසුවය. එම යානයත් මාලදිවයින බලා ගුවන්ගත වී පැය භාගයකට පසුව නැවත හරවා ඉන්දියාවට ගියේය. ශ්‍රී ලංකා ජනපතිවරයා සිංගප්පූරුවට රැගෙන යෑම ප්‍රතික්ෂේප කරමින් එම යානයද මගීන්ද සමග හරවාගෙන ගොස් තිබිණි.

අවසානයේ රාජ්‍ය තාන්ත්‍රික සහායද ඇතිව බ්‍රිගේඩියර් මහින්ද රණසිංහ හා මධුර වික්‍රමරත්නද කැටුව සිංගප්පූරුවට ආ ජනපතිවරයාට තවමත් ආරක්ෂිත දිවි පෙවෙතක් ගෙවීමට සිදුවී ඇත්තේය.

තිස්ස රවීන්ද්‍ර පෙරේරා

More articles

Latest article